18,Apr 2018
නන්දන වීරරත්න සහෝදරයා විසින් ලාංකික වමේ අඳුරු ගුප්ත අන්තර්ගතය (fantasmatic) නිර්භීත ව එළිදරව් කිරීමට උත්සාහ ගන්නා බව පසුගියදා සර්පයාගේ වැඩේ දී කළ කතාව ඔස්සේ වැටහී යයි.
ඔහු බොහෝ කාලයක් දැනසිටි එහෙත් මට තරමක් අලුත් වූ එම 'දැනුම' මට (ලිංගිකත්වය නම් එම එම යථාව යම් දුරකට අප විසින් පසුගිය කාලය තුල සංකේතනය කරමින් සිටිමු) යථ කි. තමාගේම කළුවර සම්බන්දයෙන් ස්වයං-නිරාවරණිය (confessional-like) එවන් නිර්භීත බවක් මා මිට පෙර වමේ කතා (අවම වශයෙන් නන්දන සහෝදරයා මා මිට පෙර දැක තිබුණේ ද නැත) තුළ දැක තිබුණේ නැත.
හඳගම වික්ටෝරියානුවෙක් ද?
මට මෙම සදාචාර ගැටලුව වරක් මතුවුනේ අශෝක හඳගම ගේ සිනමා පටයක් වූ 'ඇගේ ඇස අග' (චිත්‍රපට සිය දහස් ගණනක් නරඹා සිටි මාගේ ළඟම මිතුරෙක් මගෙන් ඇසුවේ 'මොකක්ද බං අර හඳය කරලා තියෙන්නේ' යනුවෙනි) බැලුව දවසේ ය. අශෝක හඳගම වික්ටෝරියානුවෙක් ද යන්න මම නොදනිමි. නමුත් කුමන ආකාරයේ ලිංගිකත්වයක් ඔහු රැඩිකල් ලෙස චිත්‍රපට තුළ මතු කළත් යම් දෘෂ්ටිමය ගැටලුවක් විසින් ඔහුගේ චරිත නිරුපණය දුර්වල කරන බව (එම තත්ත්වය බුඩී කිර්තිසේන තුල නැති බවත් මට පෙනෙන කරුණකි) මට වැටහුණි. ඉහත චිත්‍රපටය දිගහැරුණු සන්දර්භය තුළ හඳගම නිශ්චිත අරගලකරුවෙක් ලෙස මට හඳුනා නොහැකි විය. මට සිතුනේ හඳගම පුර්ණ ලෙස නිදහස් නොමැති බවකි. නමුත් වෙනත් අර්ථයකින් ඔහුගේ නිර්මාණ ඉදිරිගාමී නොවේ යැයි මම නොකියමි. සමාජ ප්‍රගමනයේදී ඔහු වැදගත් නිර්මාණකරුවෙකි. එවෙලෙහි මා තුළ ඇතිවුන ඇතැම් ප්‍රශ්න මා විසින් ත්‍රිමාණ වෙබ් අඩවියේ ලියා තැබුව ය. නමුත් ඇත්ත වශයෙන් විවෘත මනසකින් මෙම මෝඩ වික්ටෝරියානු කුහක බවට අභියෝග කරන්නේ කේ. කේ. බව මා නොපැකිළව පිළිගනිමි. ඒ අතින් ඔහුගේ ව්‍යායාමය පුරෝගාමිය.
අපි තවමත් කඹුරන සුද්දාගේ සදාචාරය
මගේ මතය සමන් ගේ (මෙන්ම නන්දනගේ) මතයෙන් තරමක් වෙනස් වුවද මම ද ඔහුගේ අරගලය තුළ සිටිමි. ඔහුගේ අරගලය ලාංකික සාතිශය බහුතරයකගේ ද අරගලය විය හැකිය යන්න මම අවංකව සිතමි. අද දවසේද අප සුද්දාගේ සදාචාරයට කඹුරන බව මාගේ වැටහීමයි. ලිංගිකත්වය කියන තැනදී මෝඩ සුද්දා එදත් පටලවා ගත්තා සේම අද ද පටලවා ගෙන ඇති බව මගේ අදහස යි. සමන් කතා කිරීමට උත්සාහ කරන ගැටලුවේ පරිමාව තුළ ඇත්ත වශයෙන් ඔබගේ පොත එළිදැක්වීමට ආවානම් හොඳ යැයි දැන් මට සිතේ. සමන්ගේ ප්‍රස්තුතයට වඩාත්ම අදාළව කතා කළේ නන්දන සහෝදරයා ය. තිබ්බොටුවාව සහෝදරයා ගේ කතාවේ මතු කරන්නේ වමේ එකමුතුව ගැන ය. ඔහුගේ වැදගත්ම නිරීක්ෂණය නම් අප කුමන තැනක සිටියත් අප අපගේ කාර්යය කළ යුතු බවයි. වැදගත්ම කරුණ නම් මොන ප්‍රශ්න තිබුනත් අපේ සහෝදරවරු අරගලය අතහැර නොයා අල්ලාගෙන සිටීමයි යන්න ඔහුගේ ස්ථානය යි. එයට ද මා එකගය.
නිර්-යටත්විජිතකරණ අරගලකරුවා
සාමාන්‍යයෙන් දේශපාලන කතිකාව තුළ විජිතකරණ ක්‍රියාව හරහා බටහිර ජාතීන් විසින් අප මත පටවා යන ලද ඔවුන්ගේ සමකාලින (යල් පැනගිය) ආකල්ප නැවත සලකා බැලීම හඳුන්වන්නේ 'නිර්-යටත්විජිතකරණය' (de-colonization) යනුවෙනි. යල් පැනගිය යනුවෙන් කියන්නේ බටහිර ජාතින් විසින්ම එම පැරණි ආකල්ප වෙනස් කරමින් ඇති නිසාය. එම අර්ථයෙන් ගත්විට සමන් ලාංකික අර්ථයෙන් පුරෝගාමී නිර්-යටත්විජිතකරණීය (decolonizing rebel) අරගලකරුවෙකි; රැඩිකල් සාහිත්‍යකරුවෙකි. එතැනදී ඔහුගේ අවිය වන්නේ අධිපති යථාර්ථවාදය වෙනුවට අධි-යථාර්තවාදය (නැතහොත් මායා යථාර්ථවාදයයි) යි. එතැනදී ඔහු පැරණි සාහිත්‍යය විපරිත ලෙස උඩු යටිකුරු කරයි. රුෂ්ඩි හෝ මාර්කේස් අධ්‍යනය කරන දුරෙන් ම කේ. කේ. ද අධ්‍යනය කළ යුතු යැයි මට හැඟේ. සුද්දන්ගේ ලිංගිකත්ව ගැටලුවේ අප සිරගත විය යුතු නොවේ. නමුත් සුද්දාගෙන් නිදහස් වූ පළියට අප සුද්දාට පෙර පැවති පුර්ව නුතන සමාජයේ සාරයක් හෝ සෞන්දර්යයක් වෙත යා යුතු නැති බව ෆැනොන් යෝජනා කරයි. නන්දන මතු කරන උඩරට එක ගෙයි කෑම සෞන්දර්යකරණය කිරීම ඇතැම් විට ඉහත තත්ත්වය වෙත යෑමේ පුර්ව රෝග ලක්ෂණ (සයිමන් නවගත්තේගම නැවතුණේ ප්‍රේතයින් යක්ෂයින් අතරය) විය හැකි ය. නමුත් ඔහු මතු කරන කරුණු ඉතාමත් වැදගත් වන අතර ඒවා අප ප්‍රති-විජිතකරණ විමුක්ති සන්දර්භයක නැවත සාකච්චා කළ යුතුව ඇත. තවත් වැදගත් යමක් කිව යුතුව ඇත. වික්ටෝරියානු ආකල්ප වලින් මිදෙන අප නැවත බටහිර ආශා උගුලේ ද (වෙළෙඳපොළ, අර්චන බව) නොවැටිය යුතු බව මගේ මතය යි. එතැනදී අප අපගේ විමුක්ති මොඩලයක් ගොඩනගා ගතයුතුව ඇත.
අප තුළ තිබිය යුතු කාන්ටියානු සදාචාරය
විමුක්ති සටන්කරුවන් විසින් සමාජීය කළ යුතු ගැහැනිය පෘතුගීසි කසාදය ඔස්සේ තමාගේ ගෙදර ගොස් තබා ගැනීම සහ එසේ තබා ගැනීම වෙනුවෙන් විමුක්ති ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ (පාවා දීමේ) කොටස ඉතා වැදගත් ය. නමුත් මා කිසිදු හේතුවක් මත තම මිතුරාගේ (සටන්කරුවා, අසල්වැසියා) බිරිඳ හෝ පෙම්වතිය සමග නිදාගැනීම කිසිසේත්ම අගය කරන්නේ නැත. මොකා කළත් මොන න්‍යායට එය හරි ගියත් මට එය(තනිකර පුද්ගලික අදහසකි) පිළිකුල් ය. එතැනදී අපට කාන්ටියානු සදාචාරයක් තිබිය යුතු ය; යුතු ම ය. එය වික්ටෝරියානු ප්‍රශ්නයක් නොවේය. මා හිතන හැටියට එන්. එම්. ගැන විස්තර අසන විට මා ක්ෂිතියට පත් වුවේ ඒ නිසා විය හැකිය. මොන තත්ත්වයක් උඩ වුව ද තමාගේ ක්‍රියාවෙන් අනෙකා වේදනාවට පත් වේ නම්, තමා වෙත එන වරදකාරීත්වය තුළින් එම ක්‍රියාව කරන මම විසංයෝජනය වන බව මම විශ්වාස කරමි. එම 'වරද' කර ලබන සතුට ට වඩා සදාචාරය තුළින් ලබන හිස් බව මට වටී. වෙනත් අයෙක් ආදරය කරන ගැහැනියක් සමග හොරෙන් බුදියා ගැනීම යනු මහා ලොකු වීර ක්‍රියාවක් (පෘතුගීසි විවාහය තුළ සිටිය ද නැත ද) නොවේ. එහි දී අපිට ආශාව කැපකිරීමට සිදුවේ යන්න මගේ යෝජනාවයි. නන්දනගේ කතාව තුළ ඔහුට ම තේරෙන දයලෙක්තික භාෂාවෙන් කිව්වොත් සිදුව ඇත්තේ මෙවන් දෙයකි. අප ඉදිරියේ ඇත්තේ එන්. එම්. පන්නයේ ප්‍රශ්නයක් නම් එවිට පැරණි මෙන්ම සමකාලින වමට ද අවශ්‍යව ඇත්තේ වික්ටෝරියානු නිදහසට වඩා සදාචාරයකි. හිරේ නොගිය එන්. එම්. සෙල්ලක්කාරකමට එසේ කරන විට ලෙස්ලි ට කුමක් සිතේද යන්න මට සිතාගත (වන සත්තු වාමාංශිකයින් වුවේ කෙසේද යන්න අප විප්ලවයට කලින් පහදා ගත යුතු නොවේද?) නොහැකි ය.
වැඩ කිරීම තුළ තෘප්තිය
ඔහු කියන පරිදි හිරෙන් නිදහස් වන විමුක්තිකාමියා කරන්නේ ගැහැනියක් පසුපස යාම නම් අප ඉන්නේ Shawshank Redemption (1994) නම් චිත්‍රපටයටත් වඩා පහළිනි. Shawshank හි මිතුරන් දෙදෙනා නිදහස් වූ වහාම යන්නේ ගණිකා මඩමක් සොයා නොවේ. ඇත්තටම තමා සිරගෙදර ඇතුළදී පරිකල්පනය කල බාහිර ජිවිතයේ නිදහස් බව(ex-timacy) සොයා ය. ටොඩ් මැගෝවන් කියන පරිදි යම් වැඩක් (work) සොයා මිස විනෝදය සොයා නොවේය. ඇන්ඩි තේරුම් ගත් පරිදි හිරෙන් පිටත දී මැරෙන්නට සිදුවන්නේ වැඩ සංස්කෘතිය (working culture) සමග බද්ධ නොවුනහොත්ය. (රැඳවියන් හට යම් යම් වැඩ උගන්වන්නේ මේ නිසාය) ඔහු නිදහස කියා යන්නේ පැරණි බෝට්ටු අලුත්වැඩියා කරන්නට(නො-නිදහසකට) ය. ගාන්ධි ට අනුව තෘප්තිය පැමිණෙන්නේ වැඩකිරීම හරහාය. තමාගේ යහළුවාගේ පෙම්වතිය සමග හොරෙන් යහළුවී අර මුල් පෙම්වතා ට හොරෙන් බයිසිකල්වල නැගී එහෙ මෙහෙ යමින් එකට සිටීම තුළ 'විදින්නේ' නිදහසක් නොව විපරිත වේදනාවක් හෙවත් අශ්ලීල විනෝදයකි. ඊට අමතරව අර පැරණි පෙම්වතාට උසුළු විසුළු කිරීම ද කරයි. එය විපරිත විනෝදයකි (එය අයිති වන්නේ පොනෝග්‍රැෆි වල cuckold කාණ්ඩයටය). එන්. එම්. වුව ද විවියන් වුව ද සත්‍යය එය යි. මෙම විපරීත බවට ලොල් කිරීම වික්ටෝරියානු ගැටලුවක් වන්නේ කෙසේද යන්න මට පැහැදිලි නැත. ඉතින් ඔබ ඉල්ලා සිටින්නේ එම නිදහසද? එය එසේනම් එතැන අප නැත.
නපුරක් ආදරයක් වන්නේ කෙසේ ද?
වමේ ලිංගික නිදහස ගැන මහා ලොකු දේශනා මේ යුගයේ ඉස්මතු වන වේගයෙන්ම වමේ සදාචාරය ගැන වැඩිපුර කතා නොකරන්නේ මන්ද යන්න ගැටලුවකි. ගමෙන් අවුත් තමාට සෙවණ දුන් විමුක්ති ව්‍යාපාර විනාශ කිරීමට තරම් නරුම බවක් ඔවුන් අත්කර ගත්තේ කෙසේද යන්න සාකඡා කිරීම ද ඉහත සදාචාර ප්‍රස්තුතයට ම වැටෙන මාතෘකාවකි. එවැනි නපුරක් ආදරය වන්නේ කෙසේද යන්න අප Phantom Thread (2017) නම් චිත්‍රපට ය ඔස්සේ කතා කළේ එබැවිණි. මැගෝවන් කියන පරිදි වැඩ සංස්කෘතියක සිටින (අධ්‍යනය) සිටින සංවිධානයකට අවුදින් විනෝද සංස්කෘතියක් එහි නිර්මාණය කිරීම සමස්ත අර්ථයෙන් ගැටලුවක් නොවන්නේ කෙසේද? විවියන් හෝ එන්. එම්. මෙන් මිනිස් සදාචාරය බල්ලාට දැමු වමෙන් ඇති වැඩේ කුමක්ද? මා සිතන හැටියට ධනේශ්වරයට මීට වඩා සදාචාරයක් තිබී ඇත.
දුයිෂේන් සහ අල්තිනායි
ජීවිතයේ ඇතැම් විට එක් ගැහැනියකට පමණක් කිරීම වෙනුවෙන් මිනිසා ඇදවැටෙන (fall) ආත්මීය ආදරය නන්දන විග්‍රහ කරන්නේ කෙසේද? එවන් උත්තරීතර ආදරයක් යම් මිනිසෙක් යම් ගැහැනියකට කරන්නේ නම් (අපි මදකට ලෙස්ලි යැයි සිතමු) එවන් මිනිසෙකුගේ ගැහැනිය සමග වුවද, සමස්ත මානව වටිනාකම් අමතක කරමින්, අනේකත්වය අමතක කරමින්, විමුක්ති අරගලය තුළ නිදා ගන්නවාද? වැදගත් වන්නේ වමේ භෞතිකවාදය (materialism) තුළ භෞතික ශරීරයෙන් (organic body) ශුක්‍රාණු පිටකිරීම පමණක්ද? එසේනම්, ඔයාලම ආශා කරන 'ගුරු ගීතයේ' දුයිෂෙන් අල්තිනායිට එසේ නොකළේ මන්ද? දුයිෂෙන්ටත් ඒ වනවිට කිසිම ස්ත්‍රී පරාණයක් සිටියේ නැත. ඔහු කළේ වැඩ කිරීම (තෘප්තිය මිනිස් ආත්මය කර පැමිණෙන්නේ වැඩ කිරීම තුළින් බව මැක්ගොවන් ට පෙර ලොවට පෙන්වා දුන්නේ මහත්මා ගාන්ධි ය) පමණ ය. හොඳටම කැපවීමෙන් වැඩ කළ සහෝදර සහෝදරියන්ට සෙක්ස් එතරම් අවශ්‍ය වුවා යැයි මම නොසිතමි. කෙසේ වුවද අප වික්ටෝරියානු 'ලිංගික බරවාය' අනාගත ලෝකයට කර තබා ගෙන යා යුතු නැත. මා එයට එකගය.
කෙසේ වුවද, නන්දන විසින් විමසන කරුණුවල වැදගත්කම ඉහත කරුණු විසින් නිෂේධනය නොකරන බවත් මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි. ඔබ දැන් ඔබගේ කොටස කර ඇත; වෙනත් අයෙකුට කර ගැනීමට බැරිවූ දෙයක් ඔබ විසින් කර ඇත. දැන් ඇත්තේ අපේ කොටස ය. අපි අපේ කොටස කරන්නෙමු.
මහේෂ් හපුගොඩ
No comments:
Post a Comment