Tuesday, April 10, 2018

බුදු දහමට අනුව ගැහැනියකට බුදු වෙන්න බෑ...

10,Apr 2018
ස්ත්‍රීන් වෙලා ඉපදිලා ඉන්න අයට තමන්ගේ හැඳි මිටේ නුවණ පාවිච්චි කරලා සැමියගේ, පුතාලගේ, මුනුබුරාලගේ, සාරය ගැන හූල්ල හූල්ල මැරිලා ගිහින් ඊළඟ ආත්මේ පිරිමියෙක් වෙලා ආවොත් විතරයි බුදු වෙන්න පුළුවන් වෙන්නෙ.
K.K මේ බුද්ධ වචනය කණපිට හරවනවා. K.K ට කලින් ටෙනිසන් කරනවා. නමුත් ටෙනිසන්ගේ පුරුෂ ලිංගික පෑන ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ... බුදු වෙන්න ගිය ගැහැනියව එක පාරක් මාරයා ලව්වා පරාද කරවනවා. අනිත් පාර ටෙනිසන්ගේ පුරුෂ ලිංගය පරාද කරවනවා.
නමුත් K.K ගැහැණිය බුදු කරවනවා. ගැහැනියක් බුද්ධත්වයට පත් කරවන්න K.Kට තියන වුමනාව මොකක්ද?
මෙච්චර කාලෙකට බහුතර නිර්මාණවල ස්ත්‍රීන්ව නිර්මාණය වෙලා තියෙන්නේ බෞද්ධ සාහිත්‍ය පොත්වල එන රාමුව ඇතුළෙ. මුල්ම කාලේ සොකරි, කෝලම්, නාඩගම් ගත්තත් ස්ත්‍රිය නිර්මාණය කරලා තියෙන්නේ ඒ රාමුවෙම තමයි.  ස්ත්‍රී චරිත රඟපෑවෙත් පිරිමි.
ස්ත්‍රියගේ දෛවය සහ පුරුෂ ආශාව
ඊට පස්සේ මිනර්වා, නූර්ති ආවම පොල්කටු දෙක ගලවලා දාලා ස්ත්‍රීන්ට කිව්වා ඔයාලම කරන්න කියලා. එහෙම කලේ ස්ත්‍රීන්ට අවස්ථාවක් ලබා දෙන්න ඕන නිසා නෙමේ. මාකට් එක, රැල්ල, ආකර්ෂණය ඇතිවුනේ සැබෑ ස්ත්‍රී රඟපෑම්වලට නිසා. පොල්කටුවලට වඩා මොනතරම් කර වැහෙන්න ඇඳලා හිටියත් ඒ හැට්ට ඇතුලෙන් සෙලවෙන ඇත්ත පියයුරු ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කළා. එතන ඉඳලා දිගටම නවකතා, නාට්‍ය, සිනමා ආදී සියලු නිර්මාණ වල හිටියේ: පුරුෂයින්ගේ උදව්වෙන් ජීවිතය රැක ගත්ත ස්ත්‍රීන්, පුරුෂයින්ගේ උදව්වෙන් උදාර මාතෘත්වයට පත් ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ උදව්වක් නැති වෙච්ච හැම වෙලාවකම විනාශ වෙච්ච ස්ත්‍රීන්. අවීචි මහා නරකාදියේ ඉඳලා දිව්‍ය ලෝකෙට යනකම් කතාවල හිටිය යක්ෂණියන්, මනුස්ස දූවරු, දේවතාවියෝ ප්‍රධාන චරිත වූ ඕනම කතාවක ඒක තමා ස්ත්‍රී දෛවය.
ඒත් එක්කම පුරුෂයන්ට තිබුණ ස්ත්‍රී ශරීර නැරඹීමේ ආශාවත් ඉෂ්ට කර ගත්තා. පතිවත රකින ගමන්ම පියයුරු නටවනවා, ඔමරි පානවා, මායම් 64 දානවා. මේ දෙක එකට ගැළපෙන්නේ නෑ. සාහිත්‍යයේ නම් නිර්මාණය කිරීමේදී රචකයාට අසීමිත නිදහසක් ලැබෙනවනේ. නමුත් වේදිකා නාට්‍ය, සිනමා ආදියේ ඇත්තටම ස්ත්‍රීන් රංගනයේ යෙදුණා.  මම දන්නේ නෑ ඒ චරිත කරපු නිළියෝ එවා කොහොම ගළප්පව ගත්තද කියලා. මටනම් තේරෙන්නේ ඒ දෙක ගළප්පව ගන්නවා කියන එක මාර දුකක්.
මේ නිර්මාණවල තිබුණේ මේ දුක ගැහැනිය දිනා ගන්න විදිය.

දුක සහ දුක දිනීමේ මාර්ග
බෞද්ධ දර්ශණය පදනම් වෙලා තියෙන්න ම “දුක” එක්කනේ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා පුරුෂයන්ට පෙන්වලා තියෙන්නේ දුක නැති කරන හැටි. පුරුෂයන්ට දීලා තියන ඉලක්කය දුක නැති කිරීම. ඉතින් පුරුෂයන් දුක නැති කරන්න ඕන නිසා ස්ත්‍රීන්ට දුන්නා දුක දිනන්න.
මේ දුක දිනා ගැනීමේ ලැයිස්තුවක් තිබුණා.
  • ·පතිවත දිනන්න තිබුණා
  • ·සැමියා දිනන්න තිබුණා
  • ·සැමියගේ අම්මා දිනන්න තිබුණා
  • ·සැමියගේ අයියා දිනන්න තිබුණා
  • ·සැමියගේ අයියගේ නෝනා දිනන්න තිබුණා
  • ·සැමියගේ අයියගේ නෝනගේ බලු කුක්කා දිනන්න තිබුණා
  • ·සැමියගේ අයියගේ නෝනගේ පූස් පැටියගේ ඉඳලාම දිනන්නම තිබුණා
  • ·සැමියගෙන් දරුවෝ දිනන්න තිබුණා
අනිවාර්යයෙන් ම දරුවො නම් දිනන්නම ඕන. සැමියාගෙන් බැරිනම් අහල පහල සැමියෙක්ගෙන් හරි කමක්නෑ... නැතිනම් වඳ ගෑනි කියලා ගේකට වත් වැද්ද ගත්තේ නෑ.

පිරිමින්ට උපකාර කිරීමේ පින
බෞද්ධ දර්ශණයෙත් තියෙනවා දරුවෝ ඉන්න ගැහැනිය අතිශයෝක්තියට නංවලා. විශාඛා සිටු දේවියගේ කතාව අහලා ඇතිනේ. මම මේක ගත්තේ ශ්‍රී සද්ධර්මාවාද සංග්‍රහය, සිතියම් සහිත, පළමු මුද්‍රණය 1998, දෙවන ම්‍රද්‍රණය 2009 පොතේ 145 පිටුවෙන්.
ඒ පොතේ කියනවා, විශාඛා සිටු දේවිය බුදුන් වහන්සේට කළ ඇප උපස්ථානවලට හරියන්න වර 8ක් ඉල්ලුවාලු. බුදු හාමුදුරුවෝ “සාදු සාදු විශාඛාව” කිව්වම ඒ වර ලැබුනලු. මේ වරවල ප්‍රතිඵලයක් විදියට නිරෝගී පුතුන් 10ක් සහ දියණියන් 10ක් යනාදි වශයෙන් දරුවෝ 20ක් එකදිගට වැදුවලු.  ඒ දරුවොත් තවත් 20දෙනා බැගින් දරුවෝ ලැබුවලු. ඒ දරුවොත් නැවත 20 දෙනා බැගින් ලැබුවලු. ඔහොම දරුවෝ 20යි, මුනුපුරු මිනිපිරියෝ 400යි, මී මුනුපුරු මිනිපිරියෝ 8000යි ලැබුනලු. ඔහොම අවුරුදු 121 වෙච්ච විශාඛාවගේ කොණ්ඩේ එක සුදු කෙස් ගහක් නෑලු, හමේ එක රැල්ලක් නෑලු, කටේ එක දතක් සෙලවෙන්නේ වත් නෑලු. විශාඛා අවුරුදු 16ක පුංචි කෙල්ලෙක් වගේලු. මේ දරු මුණුපුරෝ ඔක්කොම එකට යනකොට අන්තිම මී මිනිපිරියි විශාඛායි කවුද කියලා අඳුරගන්නම බෑලු. මේ අවුරුදු 121ක මැහැල්ට ඇත්තු 5 දෙනෙකුගේ බලය තිබෙනවාලු.
(වයසක අම්මලා කෙල්ලෝ වගේ හැසිරෙනවා කියලා සමහර අය විවේචනය කරනවානේ. ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ)
ඒ පොතේ හැඳින්වීම ලියලා තියෙනන්නේ BA ගෞරව උපාධිධාරියෙක්, ඒ පොත ලියපු ස්වාමීන් වහන්සේගේ ගුණ වර්ණනාවේ ඔහු මෙහෙම කියනවා.
“.............හිමියන් ධර්මාන්තර, ශාෂ්ත්‍රාන්තර, දර්ශනාන්තර ඥානයෙන් මෙන්ම ජීවිත පරිඥානයෙන්ද, කලා පරිඥානයෙන්ද එකසේ වශ්‍යවචෝ භාවයට පැමිණි දුර්ලභ ඝනයේ පඬි රුවනක් වන බව කාලයේ දේශයේ සීමා අතික්‍රමණය කරන ස්ත්‍රී චිත්තයට සාධාරණ ලක්ෂණ සම්මර්ශණය කර ඇති මතු දැක්වෙන වාසගම් ප්‍රදේශයෙන්ද සිතා ගත හැක්කේය. 
මේසේ ලෝකයෙහි සෙසු ස්ත්‍රීන්ගේ මනා රූප ශ්‍රී බල බලා මෙබඳු රුවක් මට ඇතිවේවායි සිතීම ද, පුරුෂයන්ගේ ශෝභා වික්‍රම බල බලා මේ පුරුෂයා මටම හිමිව වල්ලභ වේවා යි සිතීම ද, අනුන් වැදූ දරුවන්ගේ සුරතල් ලීලා විලාස දැක මේ වැනි දරු සිරි මටත් ලැබේවා සිතීම ද සියලු ස්ත්‍රීන්ගේ ස්වාභාව ධර්මයක් ම ය”
දැන් මේ කියන්නේ මේ දුර්ලභ පඬි රුවන ලෝකේ පීරලා, දර්ශනය හදාරලා, කලා ඥානය ලබාගෙන හොයාගෙන තියෙන්නේ ලෝකෙ ඉන්න ගෑනුන්නට වෙන වැඩක් නෑ. ලෝකෙ ඉන්න ඔක්කොම ගෑනු අනිත් ගෑනුන්ට ඉරිසියා කර කර, ලෝකේ ඉන්න ඔක්කොම පිරිමි ගැන, දරුවෝ ගැන හූල්ල හූල්ල ඉන්නවා කියලයි.
දුක දිනීම සහ අයිතිවාසිකම්
කොහොමහරි ස්ත්‍රීන් ඔහොම දුක දිනාගෙන යනකොට 1789 ප්‍රංශ විප්ලවෙන් පස්සේ ස්ත්‍රීන් පුරුෂයින් හා සම අයිතීන් දිනන්න පටන් ගන්නවා. 19වන සියවසේ පළමු ස්ත්‍රීවාදී රැල්ල ලෝකේ පුරාම හමාගෙන යනවා. දුක දිනන්න දුන්නට සමාන අයිතිවාසිකම් දිනන්න දෙන්න බෑ. ඒක තමයි ක්‍රමය
ඔන්න කියන්න පටන් ගන්නවා ස්ත්‍රීන්ට හිස්ටීරියා කියලා එකක්. මේ හිස්ටීරියා කියන රෝගය ක්‍රි.පූ.5-4 කාලේ ස්ත්‍රීන්ට පමණක් හැදුණ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සම්භන්ධ රෝගයක් විදිහට තමා හදුනාගෙන තිබුණේ. ස්වයං වින්දනයේ යොදවලා සුරතාන්තය ලබා දීලා තමා මේක සුව කරවලා තියෙන්නේ.
නමුත් 1වන ලෝක යුද්දෙදි සොල්දාදුවන්ට මේ රෝගය හැදුණා. ඔන්න කලබල වෙලා නැවත පරීක්ෂණ කළාම හොයා ගත්තා මේක ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සම්බන්ධ රෝගයක් නොවේ. මානසික රෝගයක් කියලා.
අපේ කලාකරුවෝ හරිම සංවේදීනේ. සමාජය විනිවද දකිනවා, සමාජයට වඩා ඉදිරියෙන් ඉන්නවා, විවෘතයි, ස්ත්‍රීන්ව තේරෙ,වා. වෙන පිරිමින්ට තේරෙන්නේ නෑ.. කලාකරුවන්ට සමස්ත ගැහැනිය අහු වෙනවා. බොහෝ නිර්මාණවල: හිස්ටරික ගැහැනු, පිරිමි වගේ වෙන්න ගිය ගැහැනු, පිරිමි පරාජයට පත් කරපු ගැහැනු, පිරිමි එක්ක සමාන්තරව කටයුතු කරන ගැහැනු සහ පිරිමි ප්‍රතික්ෂේප කරන ගැහැනු ඉන්නවා.
ඔන්න ඒ නිර්මාණ ඇතුළෙ: ගැහැනුන්ව රේප් කරවනවා, හිරේ යවනවා, සිය දිවි නස්සෝනවා. අවසානයේ පිරිමියාගෙන් සමාව අරන්, ආපහු මුලින් වගේම ඔමරි කර කරම පතිවත රකිනවා. ළමයි හදලා සතුට හොයා ගන්නවා. ගොඩක්ම රැඩිකල් පිරිමියෙක් හමු වුනොත් ඩිල්ඩෝ එකක් තෑගි ලැබෙනවා.
ඔය අතරේ කපන්න බැරි අත ඉඹිනවා වගේ, තමන්ට ම හිතිලා දුන්නා වගේ, බල්ලට මස් කටු දුන්නා වගේ, කලිසම් සාක්කුවේ හිලකින් වැටුණා වගේ ලෝකේ හැම තැනම ස්ත්‍රීන් සමාන අයිතිවාසිකම් දිනා ගනිමින් යනවා. නමුත් ඒවයේ ප්‍රතිඵල ස්ත්‍රී සමාජයට ලැබෙන්නේ නෑ.
ලංකාවේ ස්ත්‍රියගේ තත්ත්වය
ලංකාවෙත් එහෙමයි. ජනගහනයෙන් 50% කට වඩා ස්ත්‍රීන් හිටියට, 1931 සර්වජන ඡන්ද අයිතිය යටතේ ඡන්ද බලය ලැබිලත් තාමත් පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය 4%යි. දකුණු ආසියාවෙම දේශපාලන පක්ෂවල ස්ත්‍රී නියෝජනය 7%යි. ලංකාවේ සමස්ත ස්ත්‍රී සමාජයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය 62.2% (2011/12) වුනාට ආර්ථිකව සක්‍රීය 5.5%යි. (2013).
ලෝකේ ම විවිධ ප්‍රමාණවලින් එහෙම විශමතා එනවා. ගැහැනු දහස් ගණනක් මැරිලා, හිර ගෙවල්වල ලැගලා, දූෂණය වෙලා සියඹලා ගෙනැල්ලා නෑ වගේ වැඩක් වෙලා තියෙන්නේ කියලා තේරෙනවා. ඉතින් ස්ත්‍රීන් හොයන්න ගන්නවා මොකද මේ ස්ත්‍රී සමාජයට වුණේ කියලා. මනුෂ්‍ය සමාජය තුළ    “මම කවුද”  කියලා හොයන්න ගන්නවා.
ආපහු අපේ නිර්මාණවල ඉන්නවා තමන්ව හොයාගෙන පුරුෂ සමාජය මැද්දෙන් ධෛර්යෙයන් යන ගැහැනු. නමුත් ඒ ස්ත්‍රීන් බේරගන්න පිරිමියෙක් නැතිව තමන්ව හොයාගෙන ගිහින් ජනෙල්වලින් වැටිලා මැරෙනවා. මැරිච්ච ගැහැනු ඇවිල්ලා තමන්ව විනාශයෙන් බේරගන්න බැරි වුණ එක ගැන තමන්ගේ අහිංසක මෝඩ සැමියට අනුකම්පා කරනවා. සමහරු ස්ත්‍රීන්ගේ අතට පිහි දීලා තමන්ගේ පුරුෂ ලිංග කප්පව ගන්නවා තමන් අතින් ස්ත්‍රීන්ට සිදුවුණ වැරදිවලට වන්දි ලෙස. ලෝකේ ඉතුරු වුණ අන්තිම ගැහැනිය ගැනත් නිර්මාණයක් කරන්න යනවා කියලා ආරංචියි. (50%කට වඩා ඉඳලා මේ වෙන දේවල්වල හැටියට අන්තිම ගැහැනියට මොනවා කරනවද දන්නේ නෑ)
බුද්ධාගම සහ ස්ත්‍රිය
ඔය වගේ හොටු පෙරාගැනිලි ගොඩක් මැද්දේ තමා K.K ත් ස්ත්‍රියක් බුදු කරවලා“නේරන්ජනේ ස්නානේ” ලියන්නේ. ඒ ගැන කතා කරන්න නම් බුද්ධාගමට ස්ත්‍රිය එක්ක තියන සම්භන්ධය මොකක්ද කියන එක පැහැදිලි කරගන්න එක වටිනවා.
මිනිසා ‍"ආගම" කියලා හොයා ගත්ත දේ ඇතුළෙ සමස්ත මනුෂ්‍ය සමාජ සංවිධානයට ධනාත්මක විදිහට බලපාපු ගොඩක් හොඳ දේවල් තියනවා. නමුත් ආගමේ ස්ත්‍රීන්ට නැති ඉලක්කයක් පුරුෂයෙක්ට දීලා තියනවා. ඒ තමයි මනුෂ්‍යත්වයේ අග්‍ර ඵලය වෙන බුද්ධත්වය හරහා හදන “මහා පුරුෂයා”. ඒක කරන්නේ පිරිමියාට ඇතිවෙන “ලිංගික ආශාව” නැති කරලා. දෙතිස් මහා පුරුෂ ලක්වලත් සියලු ම අංග ප්‍රත්‍යංග මනාව පිහිටියට පුරුෂ ලිංගය රන් කෙමියක් තුළ හැකිලුණා කියනවා. මොන ගෑනි රෙදි කඩාගෙන ආවත් ඒක හෙල්ලුනේ නෑ කියනවා.
නමුත් පිරිමියෙකුට ඔය ආශාව නැති කරනවා තියා පාලනය කරගන්නේ කොහොමද කියන එකම මාර අවුලක්නේ.  ඉතිං ඕකට තියරි හදලා තියනවා පිරිමි බය කරන්න.
සූත්‍රන්ත පිටකය ජාතක පාලි( උපුටා ගැනීම බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලා 30 පොත)
මුදුපාණි ජාතකය(පිටුව 133)
‘‘මේ ඉතිරියෝ කාමයෙන් පුරුෂයන් පොළඹවන්නෝය. මහාමායා ඇත්තෝය. ඹඹසර නම් උතුම් හැසිරීම නිසා පුරුෂයන් අපායේ ගිල්වත්. මෙය දැන ඇය දුරින්ම දුරු කරන්න.’’
සිරිකාලකන්නි ජාතකය(පිටුව 89)
‘‘ස්ත්‍රීහු වදයට සුදුසුය. ස්ත්‍රීන් කෙරෙහි ඇත්තක් නැත.’’
පදුම ජාතකය (පිටුව 133)
‘‘තෙල ස්ත්‍රීහු රුචියෙන් වේවයි ධන හේතුවෙන් වේවයි යම් පුරුෂයෙක් ඇසුරු කෙරේ ද, තමා සිටි තැන දවන ගින්න සේ සේවනය කලහුම වහා දවති.’’
හලිද්දිරාග ජාතකය(පිටුව 343)
‘‘ස්ත්‍රීහු ලෝකස්වාද රතියෙන් තෘප්තිමත් නොවන හෙයින් මහ මුහුදේ ප්‍රපාතයට සමානය. මෙසේ වූ ස්ත්‍රීන් කෙරේ ප්‍රමත්ත වූ පුරුෂයා විනාශයට යයි.’’
බෞද්ධ සාහිත්‍යය පුරාම ස්ත්‍රිය ගැන මෙවැනි ඉගැන්වීම් ඉතාම බහුල ය.
මේ පොත මුද්‍රණය කරන්නේ 1983දී. ඒ, එවකට හිටිය සංස්කෘතික ඇමතිගේ ඉල්ලීම පිට. ස්ත්‍රීන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ සම්මුතියට 1980 දි ලංකාවේ රජය අත්සන් කරලා 1981 ලංකාව තුළ බලාත්මක වුණාට පස්සේ ජාතික වගකීමක් විදිහට සලකලා තමා මේ පොත ජනගත කරන්නේ.
පුරුෂයාට කාන්තාවගෙන් ඈත් විය හැකි ද?
කොහොමහරි දැන් මේ කියන්නේ ඔබට මේක කරන්න පුළුවන්. ගැහැනු නිසා කරන්න බෑ කියලා. මේක කරනවා, පුළුවන් කියලා තැඹිලි පාට රෙදි ඇඳගෙන ගියපු අය කරන ඒවා පේනවනේ. පහුගිය දවසක එක්කෙනෙක්ව මුලු ගමක් එකතු වෙලා හූ පූජාවක් මැද්දේ වටකරලා පොලිසියට අල්ලලා දුන්න මතක ඇති.
ගෑනුන්ගෙන් ඈත් වෙන්න කියලා සාහිත්‍ය පොත්වල පරසක්වල ගහලා කිව්වත් ඒක කරන්න බෑ. ඔය චූටි හම් කෑල්ල තියෙන්නේ චූ කරන්න විතරක් නෙමේ කියලා දැනගත්ත දවසේ ඉඳලා ඕකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලන්න මොනතරම් දේවල් කරනවාද? එහෙම තියෙද්දි ඒ සතුට නැති කරන්න කියන එක දරාගන්න බෑ. නමුත් කරන්න පුළුවන් සුළුතරයක් ඉන්නවා. ඒක ඒ අයගේ ශාරීරික, මානසික විශේෂ තත්ත්ව අනුව තමා කරන්න පුළුවන්. හෝමොන සංයුතීන් එහෙම බලපානවා.
නමුත් බහුතරයකට බෑ. ඒත් බහුතරයකට කරන්න කියලනේ කියන්නේ. ඒක දරාගන්න බැරි මිලක්. ඒ දරාගන්න බැරි මිල විසින් තමා පුරුෂයා ස්ත්‍රියට වෛර කරන්නේ. මේ සත්‍රීන් හැඳි ගෑවිලා ගියාම මහා පුරුෂයාට තියන භාධකය ඉවරයි කියන හැඟීම එනවා. නමුත් එහෙම කරලා හරියන්නෙත් නෑ. මොකද බාධකය අවසන් වුණාම හදන්න හදන මහා පුරුෂයාත් ඉවර වෙනවා. චිත්‍රප වලත් එහෙමනේ. දුෂ්ටයා ඉන්නකම් තමා වීරයගේ වීර කම් තියෙන්නේ. බුදු හාමුදුරුවොත් බුදු වෙලා, තමන් හොයා ගත්ත දර්ශණය සමාජ ගත කරලා නිකම් නිකම් හිටියේ නෑ. ඇත්තු නැවැත්තුවා, රෙදි කඩන් ආව ස්ත්‍රීන්ව සෝවාන් කෙරෙව්වා, යක්කු මෙල්ල කලා.
පසු කාලීනව පුරුෂයින්, “ගෑණු ඇතිවත් බෑ.. නැතිවත් බෑ” කියනවා. “ස්ත්‍රිය නොපවතී, ස්ත්‍රියගේ සාරය නොපවතී” වගේ එවා කියනවා.
බුදුවන ස්ත්‍රිය මත පුරුෂ ශුක්‍රාණු වැගිරවීම
වර්තමාන ස්ත්‍රිය තමන් කවුද කියලා හොයාගෙන යන වෙලාවක තමා නේරන්ජනේ ස්නානේ එන්නේ. මේක ස්ත්‍රී වාදීද? ස්ත්‍රිය, ස්ත්‍රීවාදය, ස්ත්‍රීවාදී කතිකාව එක්ක මේ පොතට තියන සම්භන්ධය මොකක්ද? ස්ත්‍රියක් ප්‍රධාන චරිතය නිරූපණය කළ පළියට මේ පොත“ස්ත්‍රිය යනු කවුද” යන්න ගැන හෙළි කිරීමක් කරනවාද?
අපේ රටේ ඉතාම කලාතුරකින් නිර්මාණවල පුරුෂයින් උත්සාහ කරලා තිබුණා ස්ත්‍රීන්ගේ චරිත අරගෙන ස්ත්‍රිය කවුද කියලා හොයා ගන්න. නමුත් ආගම් විසින් උඩු යටිකුරු කරපු ස්ත්‍රි යවම අරගෙන තමයි ඔවුන් ඒක කරන්න හදලා තිබුණේ. ඒක උගුරට හොරා බෙහෙත් බීමක් වගේ වැඩක්. ඒක කරන්න බෑ.
මේ පොතේ බුදුවරියගේ බුද්ධත්වය නැති කරන්න පෙර බුදුවරු ඇවිල්ලා ශුක්‍ර වැස්සක් වස්සන සිදුවීමක් එනවා. ඒ වගේ අර කලින් කියපු නිර්මාණ තුළත් ගොඩක් අවස්ථාවල ඒ නිර්මාණකරුවොන්ගේ ශුක්‍රවලින් වැහිලා ගිහින් තියෙනවා කියලා  පේනවා.  සමහර නිර්මාණ වැහිලා ගිහින් විතරක් නෙමේ කුණු වෙලා, පනුවෝ ගහලා.  ඒවා තේරුම් ගන්න මේ ලෝකේ මනුස්සයෙකුට බෑ. නමුත් ඒ නිර්මාණ එක්ක මේ නේරන්ජනේ ස්නානේ පොත ගත්තම K.K  මේ පොත උඩ ශුක්‍රාණු හලා ගන්නේ නෑ.
මේ පොත පටන් ගන්නේ මානව ඉතිහාසයේ ස්ත්‍රීවාදී රැල්ල පටන් ගන්න හේතු වුණ තැනින්. නිද්‍රාවෙන් හිටපු මහා ස්ත්‍රිය අවදිවෙන තැනින්. එතන ඉඳලා ස්ත්‍රියක් බුදු වෙලා පිරිනිවන් පානකම් සිදුවීම් අරගෙන එනවා. මෙහි පටන් ගැන්ම ස්ත්‍රීවාදී කතිකාව එක්ක සමපාත වෙන තැනකින් තමා පටන් ගන්නේ.
ස්ත්‍රියක් බුදුවීම කියන සංකල්පය මූලිකවම ගෙනාවට ඒ ඇතුළෙ සමස්ත මානව සමාජීය ඉතිහාසයේ ම ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ හැසිරීම පොදුවේ අපි ඉස්සරහට අරගෙන එනවා. අපිව ප්‍රශ්ණ කරවනවා. විශාල දේශපාලනික ඉතිහාසයක් ඉතාම නිර්මාණශීලීව, සංක්ශිප්තව, පැහැදිලිව අරගෙන එනවා. ඒක K.K රචකයෙක් විදියට ඉතාම සාර්ථකව කරනවා. ලාංකීය සාහිත්‍යයේ එච්චරටම ශූර රචකයෝ හරි අඩුයි. අනිත් අතට පිරිමියෙකුට ස්ත්‍රී ලෝකය එක්ක තියන ගණුදෙනුව මොකක්ද කියලා පැහැදිලි කර ගන්නත්“පුරුෂ ප්‍රකාශනයක්” වන  නේරන්ජනේ ස්නානේ ස්ත්‍රී ලෝකයට හරිම වැදගත්.
 “විශාල ස්ත්‍රිය” නමැති සංකල්පය
ස්ත්‍රියක් පුරුෂයෙකුට වඩා ශාරීරිකව හෝ මානසිකව විශාලයි කියන එක, ඉදිරියෙන් ඉන්නවා කියන එක කොහොමටවත් පුරුෂයෙකුට දරාගන්න හෝ බාරගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ නිසා සම්බන්ධතා ඇතුළෙ පුරුෂයා විශාල වෙලා ඉන්න, ඉදිරියෙන් ඉන්න ගේම් ගොඩක් ගහනවා. උදාහරණයක් කියනවා නම් සහකාරියක් තෝරගන්නකොට ඒ මානසිකත්වය හොඳින් ප්‍රකට වෙනවා දකින්න පුළුවන්. නමුත් මහා ස්ත්‍රියක් අත්පත් කර ගැනීමෙන් පුරුෂයා ඉතා විශාල මානසික තෘප්තියක් ලබනවා. ජනප්‍රිය, සිවිල් හෝ දේශපාලනික බලයක් තියන ස්ත්‍රීන් එක්ක ලිංගිකව හැසිරෙන්න පුරුෂයන් විශාල මුදලක් ගෙවන්න එක පයින් කැමති වෙන්නේ ඒ නිසයි.
  • ·K.Kත් මහා ස්ත්‍රියක් ලඟට කුඩා රිලවෙක් ගේනවා. (බුද්ධාගමේ ස්ත්‍රිය වැඳිරියන්ට සමාන කරලා තියෙනවා)
මේ රිලවා මහා ස්ත්‍රිය දිහා විශ්මයෙන් බලාගෙන ඉන්න එක, ලෝකේ කවදාවක් රිලවෙක් බලා නොහිටපු විදිහට බලා හිටියේ කියනවා (321පිට), රිලවාගේ හීල්ලීම්, රිලවා තමන්ගෙන්ම හූල්ල හූල්ල අහන ප්‍රශ්ණ, ඒවා මේ ලෝකේ ඕනම පුරුෂයෙක් ස්ත්‍රිය සම්බන්ධ විෂයේ දී තමන් එක්කම කරන ගණුදෙනුව හෙලි කරනවා.
  • ·රිලවා බුදුවරියගේ ඇඳුම් ගලවන්න කරන දැඟලිල්ල.
අපෙත් බ්ලවුස් එකක්, සායක් අස්සෙන් අතක් දා ගන්න පුරුෂයන් මොනතරම් ප්ලෑන් ගොඩක් ගහනවද.. මොනතරම් මහන්සියක් ගන්නවද කියලා අපි දන්නවනේ.
  • ·රිලවා බුදුවරියගේ කකුල් දෙක මැද තියන බෙල්ලා ඈත් කරගන්න දඟලන දැඟලිල්ල.
ස්ත්‍රීන් ඔය කකුල් දෙක මැද්දේ තියන නිධානය රැකගෙන ඉන්නවනේ දිවි හිමියෙන්. බෙල්ලා ලොක් කරගෙන ඉන්න තමයි කාන්තාවන්ට පුංචි කාලේ ඉඳලා උගන්වන්නේ. ස්ත්‍රී ලෝකේ වීරවරිය වෙන්නේ ඒ බෙල්ලාගේ ලොක් එක හොඳටම තියාගෙන හිටිය ස්ත්‍රීන්. (බැඳලා හනිමූන් දවසේවත් ලොක් එක ඇරගන්න බැරි වෙනවා ගොඩක් වෙලාවට. මොකද මළකඩ කාලා) ඊට ප්‍රතිවිරුද්ධව පුරුෂ ලෝකේ ඇතුළෙ වීරයා වෙන්නේ ස්ත්‍රීන්ගේ මේ ලොක් වැඩිපුර ප්‍රමාණයක් ගලවගත්ත අය.
  • ·බුද්ධත්වය නැති කරන්න එනවා මාර පියවරු.
දරුවෝ ඉන්න තාත්තලා සහ සෙල්ලක්කාර පිරිමි එනවා.  මේ දෙගොල්ලොන්ටම සාමාන්‍ය පිරිමියෙකුට වඩා බොහොම පහසුවෙන් ගෑනු ලමයින්ව රවට්ටලා බුද්ධත්වය නැති කරන්න පුළුවන්. ඒ වගේම එනවා සැමියා සහ දරුවෝ. අනිවාර්යයෙන්ම ස්ත්‍රියක් ගිහි ගෙට බැඳලා දාන දෙයක්නේ සැමියා සහ දරුවෝ. ස්ත්‍රියක් සැමියා සහ දරුවෝ වෙනුවෙන් තමාගේ ජීවිතේ කැප කිරීම අපි උත්කර්ෂයට නංවලා තියෙන්නේ.
මා පිය දූදරු සම්භන්ධත‍ෙවල දී, ආදර සම්භන්ධතාවල දී ස්ත්‍රියගේ ජීවන ඉරණම K.K  හරිම නිරිමාණශීලී විදිහට විස්තර කරනවා . 298 පිටුවේ බුදුවරිය බිළිදුව ඉන්න කාලය ඔහු ගේනවා සතර පෙර නිමිත්වලට.
“මෑණියන්ගේ හොස්සෙහි මුඛය වෙනුවට වූයේ ඉතිරි නිමිත්තකි. පියාගේ නාසය පුරුෂ නිමිත්ත විය. සොයුරා දිව දිගුකොට තමාට ඔච්චම් කළේ ය. දිව වෙනුවට වූයේද පුරුෂ නිමිත්තකි.|”
“කොන්ද කුදු ගැන්නීගත් ඇටසැකිලියක් මොලක් ගෙන වනයක ශස්‍ය පැස්සාය. ඒ ශස්‍ය ඇගේ හද කෙතෙන් නෙළාගත් පසුතැවිල්ල නැමැති අස්වැන්න විය. පිළිකුල නැමැති කුල්ලෙහි පොළා ඉවත් කළ යුතු නිවුඩ්ඩ නම් අතීත බලාපොරොත්තූ විය”
ඒ වගේම ඔහු පිරිමින් ලිංගික අවශ්‍යතාවලට ස්ත්‍රීන් එක්ක ගහන ගේම්, දාන ඩීල් ගොඩක් තැන්වල ගේනවා.
පුරුෂ ලෝකේ තියනවානේ ස්ත්‍රී ආරක්ෂණ භූමිකාවක්. පොතේ බුදුවරිය බුදුවෙන්න ඉන්නකොට මුචලින්ද එනවා. මුචලින්ද බුදුවරිය එක්ක ලිංගික සෙල්ලම් දාන්න ගියාම මුචලින්දගෙම වලිගෙන් මතුවෙන මුගටියා තමා බුදුවරියව රැක ගන්නේ. හරියට අපි පිට පිරිමින්ගෙන් ආරක්ෂා වෙන්න ගෙදර ඉන්න පිරිමි පාවිච්චි කරනවා වගේ.
K.K ට සාම්ප්‍රදායික විවාහ සංස්ථාව ගැන තියන විවේචනය ඔහු ගේනවා. ඒ 252 පිටුවේ- මළ ගැහැනිය - පණ තියන පුරුෂයා සමඟ ජීවත් වීම.
                  මළ පිරිමියා - පන තියන ගැහැණිය සමඟ ජීවත් වීම කියන සංකල්ප සාම්ප්‍රදායික විවාහ සංස්ථාවල නොගැළපෙන ස්ත්‍රීන් පුරුෂයන් එක්ව දිවි ගෙවීම විවේචනය කරන්න යොදා ගත්ත හරිම ප්‍රභල සංකල්ප රූප විදිහට මම දකිනවා. පොතේ දිගින් දිගටම සමාජයක් විදිහට අපි නොගැළපෙන මේ සම්බන්ධතා පවත්වා ගැනීමට කරන බොරු විකාරවලට ඔහු නිර්දය විදිහට පහර දෙනවා.
විවාහ සංස්ථාව අවශ්‍ය කාටද?
විවාහය ගැන සමාජ මතය වෙන්නෙ: පිරිමියෙක් නැතිව ගෑණියෙකුට ඉන්න බෑ, ඉක්මනට කසාද බැඳලා ළමයෙක් හදාගන්න, වයස යනවා, පිරිමියෙක් නම් තව ටිකක් හිටියට කමක් නෑ. යනු කරුණුයි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ 2012 වාර්ථාවට අනුව විවාහක ගැහැණු - 52.7%     විවාහක පිරිමි -  94.7%යි.
දික්කසාදය
දික්කසාදය ගැන සමාජ මතය වෙන්නේ:
පිරිමියා නැති වුනොත් ගෑනියි දරුවොයි පාරේ. පිරිමියාගේ වැරදි මොනතරම් තිබුනත් ගැහැනිය ඉවසලා පවුල රැක ගන්න ඕන කියන අදහස. නමුත් ලංකාවේ දික්කසාද ප්‍රතිශතය - ගැහැණු - 4.8%       පිරිමි - 0.8% යි. විවාහය වැඩිපුර ඕන කාටද කියලා ඒකෙන් ම පැහැදිළි වෙනවා.
විවාහයේ ඊනියා පරමාර්ථ
විවාහ වෙන්න සහකාරියක් හෝ සහකාරයෙක් හොයද්දි බලන ගොඩක් දේවල් තියෙනවනේ. බැන්දොත් බැන්ඳමයි. බැඳගත්ත බෙරේ ගහන්න ඕන. දික්කසාද වෙන්න නෙමේනේ බඳින්නේ. ඉතින් ගොඩක් දේවල් බලනවා.
අපි ගොඩක් ආඩම්බරෙන් බලන දෙයක් තියෙනවා. ඒ තමයි පිරිමි ළමයි අම්මා වගේ ගෑණු ලමයෙක්ව හොයනවා, ගෑනු ළමයි තාත්තා වගේ කෙනෙක් හොයනවා. සමාජයක් විදිහට අපි හරි ආඩම්බරයි අපේ අම්මලා තාත්තලා වගේ අයව බඳින එක ගැන. නළු නිළියෝ පත්තරවලටත් කියනවා. මේවා Psychological complexes.  අපි අපිට තියන complexes අදුර ගන්නවා වෙනුවට ඒවා අතිශයෝක්තියට නංවලා ඒවා එක්කම ජීවත් වෙනවා පිටට පේන්න හරි ආඩම්බරෙන්. අපිට දෙමවුපියන්ට රූපය සමාන අය හම්බ වෙයි. නමුත් රූපයයි, ගතිගුණයි එකට හම්බ වෙන්නේ නෑ.. ඉතින් නොගැළපෙන මිනිස්සු විවාහ කරගෙන මළමිනී එක්ක වගේ තමා ජීවත් වෙන්න වෙන්නේ.
K.K  “මගේ පුරුෂ ලිංගික පෑන” කියලා කවියක් ලියලා තියනවා මම දැක්කා. මේ පොත කියෙව්වම "ඒ පෑන පුරුෂ ලිංගිකයි" කියලා හොඳටම පැහැදිළි වෙනවා. මේ පොතේ එක තැනක අලියෙක් තමන්ගේ නළලේ ආපු පුරුෂ ලිංගය හංග ගන්න මාර ට්‍රයි එකක් දීලා පතබෑවෙනවා. ඒ වගේ වැඩ K.K ටත් වෙනවා.
බුදුවරිය නේරන්ජනේට බැහැලා නාන තැන තනිකරම විස්තර වෙන්නේ(Visual) පුරුෂයෙක් ස්ත්‍රී නිරුවත් සිරුර දකින්න කැමති ආකාරයේ පුරුෂ ආශාව මුල් කරගෙන. හරියට Bay watch ටෙලි චිත්‍රපටි මාලාව වගේ. ඒ වගේම බුදුවරිය තමන්ගේ ජන්මයන් සිහි කරනවා. ඒ අතීතය දකින රූපෙ. ඒවාට ගන්න උදාහරණ සහ ඒවා ලියවෙන්නේ සම්පූර්ණ පිරිමි මනසේ ආශාව මුල් වෙලා.
පොතේ එක් තැනක මෙහෙම කියනවා.
”එක් ආත්මයක ඈ ඡායාංගී වෘක්ෂයක් විය. ඒ වෘක්ෂ ගණයේ පූමාංගී වෘක්ෂයක් ඒ ද්වීපයෙහි නොමැති විය. කාම දාහයෙන් දැවී තැවී පරාග පෝෂකයින්ට නිහඬවම ශාප කරමින් වන්ධ්‍යාභාවයෙන්ම ඈ සිය වෘක්ෂ ගණයාගේද ඉරණමත් රැගෙන පොළෝබත් වූවාය”
ශුක්‍රාණු නැති නිසා වර්ගයා බෝ කර ගන්න විදිහක් නැතිව වඳ වුණා කියන එක පිළිගමුකෝ විශේෂ තත්ත්ව යටතේ. කාම දාහයෙන් දැවුණා? තැවුණා?
ස්ත්‍රීන්ගෙන් 70% - 80% භගමණිය උත්තේජනයෙන් (clitoris stimulation) විතරක් සුරතාන්තයට (orgasm) යන්න පුළුවන් කියලා විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. මේ සොයා ගැනීම නිසා පුරුෂයින්ටත් වඩා කලබල වුනේ ඩිල්ඩෝ නිෂ්දකයෝ. පුරුෂ ලිංගයේ හැඩේටම තව භගමණිය උත්තේජනය කරන්නත් කොටසක් එකතු කරලා වෙළෙඳපොළට එව්වා. වෙළඳපල වටිනාකම ස්ථාවරව තියා ගන්න. K.K  ඇසතු ගහ පාවිච්චි කරලා“මාර දූවරු” ස්වයං වින්දනයේ යෙදුනා කියනවා. නමුත් “මතු බුදුවන යහපත් ස්ත්‍රිය” එහෙම කරන්නේ නෑ.. පුරුෂ ලිංගයක්ම පතාගෙන ඉන්නවා කියලා තමා ඒ කියලා තියෙන්නේ.
ස්ත්‍රීන් අඩුම තරමේ ඩිල්ඩෝ එකකින් ඒ වැඩේ කරගන්න එක පුරුෂයින් දරා ගන්නවා. කෘතිම වුනත් පුරුෂ ලිංගයක්නේ... නමුත් කෘතිම පුරුෂ ලිංගයක්වක් ඕන නෑ කියන එක, එවිට ස්ත්‍රී ලෝකය ඇතුලේ පුරුෂයාගේ ලිංගේන්ද්‍රියේ අවශ්‍යතාවය අහෝසි වෙනවා කියන එක දරාගන්න අමාරුයි. එතකොට වැටෙන්නේ “පුරුෂයා නොපවතී” කියන තැනට.එතැනට වැටෙනවා කියන එක හීනෙකින් වත් දරාගන්න පුළුවන් දෙයක් නෙමේ.

මේ කෘතියේ ගොඩක් තැන්වල පිරිමියෙකුට පුරුෂ ලිංගය ගැන තියන අභිමානය හෙළි වෙනවා.
“රිලා මොටා තලපයක් සේ චුරු ගොස් තිබුණත් උගේ ඉද්ද ගැසූ රිලා ඇඟ තවමත් පන ගැහුණේය” කියනවා. 
ලිංග විශාල වීම් ගැන, ප්‍රමාණ ගැන ගොඩක් විස්තර කරනවා. සැබෑ ලෙස ම මිනිස් පිරිමි සිරුරක වරකට ඇත්තේ ශුක්‍ර මිලි ලීටර් කීපයක් වුනත් පොතේ ඔහු ශුක්‍ර වැසි වස්සවනවා. ලිංගය අහිමි වීමෙන් වන ගැටලු විස්තර කරනවා. ලිංගය ආරක්ෂා කිරීම ගැන කියනවා. ලිංගය ආරක්ෂා කිරීම සම්පූර්ණයෙන් පුරුෂ ලෝකයේ කතිකාවක්. ස්ත්‍රී ලෝකයේ තියෙන්නේ ස්ත්‍රී ලිංගය පුරුෂයන්ගෙන් ආරක්ෂා කිරීම කියන කතිකාව.
එලෙස වැඩි බරක් මේ පොතේ යොමු වෙලා තියෙන්නේ පුරුෂ ලෝකය දිහාට. කොටින්ම බුදු වෙලා ස්ත්‍රිය මුලින්ම විසඳන්නෙත් පුරුෂ ව්‍යාපෘති.(Projects). 304 පිටුවේ කෙළඹි පුත්‍රයා එනවා. ඒ එන්නේ, බුදු වෙලා පළමු ධර්ම දේශණය කරන්න බුදුවරියට ආරාධනා කරන්න. නමුත් යටි අරමුණ වෙන්නේ බුදුවරිය එක්ක සංසර්ගයේ යෙදෙන්න හේතුවක් හදා ගැනීම. අපිටත් එදිනෙදා ජීවිතයෙදි ඔය වගේ දේවල් වෙනවනේ. අපි බුදු වෙලා නැති නිසා අපිට දිවැස් නෑ නේ. ඉතින් අපි අහු වෙනවා. නමුත් මේ ගැහැනිය බුදු වෙලා නිසා සියල්ල දිවැසින් දකිනවා. දැකලා ඉතාම දැනුවත්ව තමන්ගේ ශරීරය දෙනවා කාම දාහය නිවා ගන්න.
“ඒ වනචාරීත්වය ඈ සිරුර හප කළේ ය; බරු ගැසුවේය. එහෙත් ඈ රීරි මාංශ තන්ත්‍රයානය තුළ ම ධ්‍යානගතව තිබුණේ ය. ඔහුගේ වනචාරීත්වය මෙල්ල විය; පරාජය විය”
ආපහු උත්කර්ෂයට නංවලා තියෙන්නේ සාම්ප්‍රදායික ස්ත්‍රියගේ පුරුෂයා ඉවසීම ම තමයි. නමුත් පස්සේ K.Kට අවිඥානිකව හෝ සවිඥානිකව හිතෙන්න ඇති“නරකයිනේ ගැහැණියටම වද දුන්න එක”  කියලා හිතෙනවා 
ලංකා බණ්ඩාරනායක
උපුටා ගැනීම SIS.lk

No comments:

Post a Comment