Wednesday, April 4, 2018

රනිල්ටත් වඩා රනිල් වීම...

අවසානයේ රනිල් ජය ගත්තේය. මොන මාක්ස්වාදියා මොනවා හිතුවත් මේ නිශ්චිත මොහොතේ මා පුද්ගලිකව ප්‍රර්ථනා කළේද එයම ය. නමුත් මෙම ජයග්‍රහණයේ අර්ථය කුමක්ද මෙතනින් පසු කල යුත්තේ කුමක්ද යන්න අපි සැවොම තීරණය කළ යුතුව ඇත. මන්ද කෙතරම් උඩ පැන්නත් අවසානයේ කිසිදු නිශ්චිත ජාතික අරමුණක් කරා ඉහත ජයග්‍රහණය ගමන් නොකලොත් එය පරාජයක් වීමටත් ඉඩ ඇත. එසේනම් රනිල්ගේ ජයග්‍රහණය ජාතියේ ජයග්‍රහණයක් කරගන්නේ කෙසේද?

පසුගිය පළාත් පාලන මැතිවරණය වනවිට මා ද ඇතුළුව බොහෝ දෙනෙක් සිතා සිටියේ රනිල් ඉවරයි කියාය. ඇතැම් විට රනිල් පවා එසේ සිතන්නට ඇත. ඇත්තටම රනිල් සිටියේ මියගොස්ය. පාක්ෂිකයින් සිතා සිටියේද එසේය. නමුත් මෙම නව තත්වය තුල ඔහු ප්‍රතිජිවනය වී ඇත. ගම්මන්පිලට කැබිනට් අමාත්‍ය ධුරයක් දිය යුතු යැයි රනිල් කියන්නේ ඔහුවත් සිතා නොසිටි මෙම ආපතික තත්වය නිසාය. එනම් මලමිණිය පස් ගසා බසා දමා වලෙන් නැගිට කිවිසුම් ඇරීම අරඹා ඇත (dead man walking). ආපතික තත්වය යනු එබඳු දෙයකි. 
  
මෙම අවස්ථාවේ රනිල් එරෙහිව විශ්වාස භංගයක් නොගෙනෙන ලෙස පොහොට්ටුවේ න්‍යායික පාර්ශවය විසින් විමල් වීරවංසලාට කිවේ ඇයිදැයි දැන් අපට සිතාගත හැකිය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බිංදුවට වැටී තිබු එ. ජා. ප. පාක්ෂිකයින්ගේ මොරාල් එක මෙම විශ්වාසභංග ජයග්‍රහණයෙන් නප්පියට ඉස්මතු වී ඇත. දැන් ඔවුන් කියන්නේ 'රනිල් අද අගමැති හෙට ජනපති' යනුවෙනි. පවත්නා බලවේග හොඳින් කළමණාකරණය කරගත හොත් එයද අමාරු දෙයක් නොවේ. අනෙක් අතට ද්‍රවිඩ ජාතික සංධානයට මෙම අවස්ථාවේ හොඳ කේවල් කිරීමකට ගොස් යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් තම පිඩිත ජාතියට රනිල් හරහා දිනාදිය හැකිය. එය ඉතාමත් හොඳ තත්වයකි. එයට එ. ජා. ප. පාක්ෂිකයින් මේ මොහොතේ අකමැති නොවනු ඇත. තමා සමග එකට හිටගන්නා ජාතිකට මොනවා දුන්නම මොකද යනු ඔවුන්ගේ මතයයි. එම තීරණය දෙමළ ජාතික සන්ධානය විසින් ගන්නා ලද ඉහල සාර්වත්‍රික තීරණයකි. වැඩේ අරගෙන පස්සේ පයින් ගැසීම වැනි තුට්ටු දෙකේ වැඩ මේ මොහොතේ එ. ජා. ප. ය විසින් දෙමල සහ මුස්ලිම් මිනිසුන්ට නොකළ යුතුය.  චන්දය දීමෙන් වැලකි සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොටස්ද මෙම වැඩ පිළිවෙලට එකතු කරගත යුතුය. එම සම්මුතිය තුල ජාතිවාදයට අවසන් ඇණයත් ගැසිය යුතුය.  රනිල් ගේ ජයග්‍රහණය මා පැතුවේ එම අර්ථයෙනි. එපමණකි.  එතැනදී මට බැඳුම්කර ගැටළුව සහ හොරු ඇල්ලීමේ ප්‍රශ්නය ද්විතියික විය.  

කෙටි වාක්‍යයකින් කිවහොත් නැවත වරක් ලාංකික භුමිය තුළ ජාතිවාදය පරාජය වී ඇත.  ඒ සඳහා මොන බුර්ෂුවා පාලකයා පැමිණියද මට කමක් නැත.  

'You're not to be so blind with patriotism that you can't face reality. Wrong is wrong, no matter who does it or says it' (Malcolm X)



තවත් දෙයක් කීමට ඇත. මොන තරම් අවලාද නැගුවත් රනිල් පරාජය කිරීම පහසු නැත. හරියටම කොතරම් පොඩි පට්ටම් කිරීමට හැදුවත් කිසිදා පරාජය කළ නොහැකි වූ අපේ පරම්පරාවේ දීප්ති සොයුරා වගේය. දිගු දේශපාලන ගමනක් අවුදින් සිටින දීප්ති තුලින් ද මා රනිල්ගේ ජීව ගුණය දකිමි. ඔහුට සහයෝගය දීමට මා පෙළඹුණු ප්‍රධාන කරුණක් වුවේ මෙම පරාජයේදී නොසැලෙන (රනිල් තුලද ඇති) ජීව ගුණයයි. ලංකාවේ හුගක් ය තුළ මෙම ගුණය නැත. ඉවසීම නැති වූවා නම් සිරස නටපු නාඩගමේ තරමට මේ වනවිට රනිල් කෙනෙක් නැත. ඒ වගේම පැරණි X බයියන් ගහපු විදියට වැටුනානම් මේ වෙද්දී දීප්ති කෙනෙක්ද නැත. විප්ලවීය යැයි කියනු ලබන රැවුල් කරුවන් ජාතිවාදී මඩ ගොහොරුවේ දශක ගණනාවක් කරවටක් එරෙද්දී මේ දෙදෙනාම ජාතිවාදයට විවෘතව ම විරුද්ධය (නිකම් බැලුවත් මෙවර ද ජ. වී. පෙ. හිටගත්තේ වැරදි පැත්තේය. ඔවුන් එයට කියන්නේ 'ජනතාවගේ පැත්ත' කියාය. නමුත් මාක්ස්වාදියෙකු සිටිය යුත්තේ ජනතාව සමග නොව ජනතාවට ඉදිරියෙන් ය. එතැනදී දුමින්ද දිසානායක ඉන්නේ ඇතැම් විට ජවිපෙට ඉදිරියෙන් විය හැක). ජනතාවට මග පෙන්වමින් ජනතාවට ඉදිරියෙන් යම් පාලකයෙන් යන්නේද එය පමණක් නායකයෙක් වීමට ප්‍රමාණවත්ය.  

මාක්ස්වාදියෙක් ලෙස රනිල් ට කඩේ යනවා වෙනුවට රනිල්ටත් මග කියමින් රනිල්ටත් ඉදිරියෙන් ගමන් කිරීමට හැකිනම් එය ප්‍රගතිශීලි වමේ නුතන උරුමය ලෙස සිතමි (to become more Ranil than Ranil). කළු අප්‍රිකානුවෙකු ලෙස ඉපිද අමෙරිකාව තුළ විගලිත කළු ජාතිකයින් හට සුද්දන්ටත් වඩා සුද්දෙකු ලෙස ජිවත් වීමට ඉගැන්වුවේ මැල්කම් එක්ස් ය. ජිජැක් හරහා මා උගත් ලොකුම හේගලියානු පාඩම එය ය.  

(මෙය තනිකරම මාගේ බ්ලොග් පුවරුවේ ලියන පුද්ගලික අදහසකි. න්‍යායික මහත්වරුන් මේ සමග පැටලෙන්න නොඑන්නේ නම් කෘතඥ වෙමි).  

මහේෂ් 

No comments:

Post a Comment