Tuesday, April 3, 2018

ලෙනින් ගැන නොලියා රනිල් ගැන ලිවිම...

රනිල් වික්‍රමසිංහ අගමැති වරයාට එරෙහි විශ්වාස භංගය හෙට දිනයේ විවාදයට ගනු ඇත. චන්දය විමසනු ඇත. මට හිතෙන හැටියට මෙය රනිල්ට විශාල අභියෝගයක් වනු ඇත. පැරදුනත් ජයග්‍රහණය කලත් මේ ඔහුගේ දුෂ්කරම කාලය වනු ඇත. ඔහුට අනාගතයක් ඇත්ද යන්න කිසිවකුට කීමට නොහැකි වී ඇත. මන්ද මේ අප ගත කරම්න් ඉන්නේ ලංකික දේශපාලනයේ බැරෑරුම් අර්බුද ගහන වකවානුවක වීම නිසාය. එක් අතකින් ණය බර විසින් ආර්ථිකය අඩපන කර ඇත. අනෙක් අතින් පවත්නා සමාජ අසමානතාවය මත සුභසාධක ආර්ථිකය පවත්වා ගෙන යාමද අවශ්‍ය වී ඇත.  සමාජ සුභසාධනය අනෙක් අතට ජනතා චන්දයට බලපායි. 

ජනතා කැමැත්ත පැත්තෙන් ගතහොත් ඔහු ඉන්නේ බින්දුවේ ය. නැත්නම් බින්දුවටත් පහළිනි. මා මේ වනවිට ඔහු ගැන ලියවුනු විචාර සහ ප්‍රශස්ති ගණනාවක් කියවා බැලුව නමුත් ලාංකික ඉතිහාසය තුළ අඩුවෙන්ම සාධාරණීකරණය කළහැකි නායකයා වී ඇත්තේ ඔහුය. වෙනත් වචනයකින් කිවහොත් මෙවන් අර්බුදකාරී මොහොතක කිසිවකුට කිසිදෙයක් ලියාගත නොහැකි තත්වයකට සියලු දෙනා වැටී ඇත.  මේ ඔහු විසින්ම ගොඩ නගාගත් දෛවයයි. මේ රනිල්ගේ දේශපාලනය විසින්ම ඔහුට උරුම කරදුන් තත්වයයි. ඔහුගේ දේශපාලනය තේරුම් ගැනීමට විචාරකයෙක් ඔවුන්ගේ පක්ෂයට නිර්මාණය කරගත නොහැකි විය. මෙය යූ. එන්. පි. යේ චින්තන දරිද්‍රතාවයයි. 

එ. ජා. ප. ය ගැන තරමක් උපේක්ෂාවාදී බාහු වැන්නෙකුට පවා මෙහිදී කළ හැකිව තිබුණේ ඔහුගේ චින්තනය තුළ සීමාසහිත දෙයකි. අර්බුදයේ තරමට එය ප්‍රමාණවත් නොවේ. පුරවැසි බලයේ සාමාජිකයින්ට ඇත්තේ තර්කානුසාරී යථානුභුත දැනුමක් පමණක් හෙයින් ඔවුන්ට කළ හැකි වුවේද එදිනෙදා කරුණු ප්‍රමාණයක් ගෙනහැර දැක්වීමය. අද දේශපාලනය ඇත්තේ ඔවුන් දන්නා දේශපාලනයෙන් ගොඩක් දුර ගොස් ය.   

ඉහත තත්වය මත රනිල් පිලිබදව සහ බුර්ෂුවා දේශපාලනයේ අනාගතය සම්භන්දයෙන් නුතනත්වය පැත්තෙන් සාකච්චාවක් ඇරඹීම වැදගත් නොවේදැයි අසන විටම ලංකාවේ මාක්ස්වාදීන් කරන්නේ කුණුහරුපෙන් බැනීමය. ඒ තරමට අපි දියුණුය! ඉතින් චර්චිල් වැනි දේශපාලඥයෙක්ගේ ජිවිත කතාව පදනම් කරගත් Darkest Hour (2017) වැනි චිත්‍රපටයක් අප තේරුම් ගන්නේ කෙසේද? මෙවන් දුෂ්ට සහ අත්තනෝමතික තත්වයක් තුල නුතනත්වය අප තේරුම් ගන්නේ කෙසේද?

චර්චිල් ට මෙන්ම රනිල් වෙත ද ලැබී ඇත්තේ දුෂ්කරම කාර්යයකි.  නිශ්චිත ඓතිහාසික කාර්යයක් සඳහා නිශ්චිත උපකරණය ඉතිහාසය විසින් තෝරා ගනු ලබයි යන්න සාමාන්‍ය දැනුමක් ඇති ඕනෙම වාමාංශිකයෙක් දනී. දේශපාලඥයින් යනු එම ඉතිහාසය විසින් තෝරන චරිත වේ.  ඉතිහාසයේ උපකරණ වේ (instruments of history). අද රනිල් බේරෙනවා යනු ඉතිහාසය ඔහුට පක්ෂපාති වන බවට දැල්වෙන කොළ එළියක්ද?

කිසිවෙකුට ඉතිහාසය තුළ අපක්ෂපාත විය නොහැක. මා විසින් 'රනිල් රැකගත යුතුද' යන කුඩා ළිපිය ලිවුවේ එම අපක්ෂපාත - උදාසීන - ඔහේ බලාගෙන සිටීම බිඳිනු පිණිසය. ලෙනින් ගැන නොලියා රනිල් ගැන ලියු නිසාදෝ සමහර වම්මුන්ට කේන්ති ගියාට මට කරන්නට දෙයක් නැත. මම ඉතිහාසයේ ගමන් මඟට පක්ෂය. එම ගමන් මග නුතනත්වය සහ ප්‍රගතිය වෙත ගමන් කරනවාටද පක්ෂය. වහල් ක්‍රමය අහෝසි කිරීම, නාසි වාදයෙන් ලොව මුදා ගැනීම, ඒකාධිපතියන් පලවා හැරීම වැනි නුතනත්වයේ විරුද්ධාභාෂ වලින් (paradoxes in modernity) නුතනත්වය බේරා ගත්තේද එම නුතනවාදී පාලකයින්මය.  

ලින්කන්, කෙනෙඩි, චර්චිල්, ඔබාමා යන සියල්ලෝම අයිති වන්නේ ධනේශ්වර බුර්ෂුවා ගොඩටය. නුතනත්වය ගමන් කර ඇත්තේ ඔවුන්ගේ ශරීර පාදක කර ගනිමිනි. එම සත්‍යය මඟ හැරීම පහසු නැත.  

'රනිල්ට බෑ කියා පෝස්ටර් ගැහුවේ අපි' කියා දශකයකට පසුව මංගල කියද්දී රනිල් ඔහුගේ නායකයාය. විශ්වාස භංගයට මුලින්ම අත්සන් කලේ මෛත්‍රී යනුවෙන් ජ. වි. පෙ. කියයි. නමුත් මෛත්‍රී එතන ඉන්නෙත් එක්තරා දුරකට රනිල් නිසාය. එනයින් මෛත්‍රීට මුල අමතක වී ඇතැයි අපි කවුරුත් ජුගුප්සාවෙන් බලන මර්වින් කියයි. මේ සියල්ල මෙසේ වෙද්දී කිසිවෙක් විවේචනය නොකරන රනිල් නොසෙල්වී සිටි. 

'ලෙනින් ගැන නොලියා රනිල් ගැන ලිවිම' නිසා ලාංකික වම්මු මා ප්‍රතිගාමියෙක් ලෙස හදුන්වන්නේ නම් එයටද කම් නැත. කිසිදා මුහුණ දැක නැති, එමානුවෙල් ලෙවිනා කියන අයුරින් 'මියගිය සන්නිවේදනයක්' තම මාගල් තරම් දිග ප්‍රශ්න හරහා රැගෙන එන වසන්ත ප්‍රේමරත්නට ද කීමට තිබෙන්නේ එපමණකි. සැබෑ මානව සබදතා දැක ඇති මට වසන්ත ගේ පුහු මාක්ස්වාදී 'න්‍යායික සන්නිවේදනය' (යාන්ත්‍රික) උදෑසන යන ආම වාතයක් තරම්වත් නොවටී. අසන්නට බොහෝ ප්‍රශ්න තිබුණා වුවද මගෙන් කිසිදා ප්‍රශ්නයක් අසා නැති කේ. කේ. සමන් කුමාර මට වසන්ත ට වඩා සජිවී ය. සහෝදරත්වයෙන් යුක්තය.   

මා ඉහත ලිපිය තුළ රනිල් සම්බන්දයෙන් ඉතාම බැරෑරුම් පශ්චාත් යටත් විජිත විවේචනයක් කර තිබියදීත් වසන්තට ඇත්තේ පුදුම ප්‍රශ්නයකි. ඇත්තටම මා ඉහත ලිපියෙන් කියුදේ වසන්තට තේරුණේ නැත. මහේෂ් ඔයා මොකක්ද අර ලිපියෙන් අදහස් කළේ කියා ඇසීමටවත් ඉස්පාසුවක් වසන්ත නරුමයාට තිබුණේ නැත. තම අනන්‍යතාවය සහ උගත්කම ලෝකයට පෙන්නීමට ඔහුට අවශ්‍ය වුවේ ප්‍රශ්න ඇසීමටය.  අවසානයේ කොමෙන්ටුවක් ලෙස මා දුන් පිළිතුර වත් පළ කිරීමට ත්‍රිමාණ වෙබ් අඩවිය කටයුතු කළේ නැත. එය පළ කළා හෝ නොකළා කියා මහා ලොකු දෙයක් වෙන්නේද නැත.   

ප්‍රශ්න අසනවාට මම බොහෝ කැමතිය. නමුත් අපි දේශපාලනයේදී මුලින් සජීවී වෙමු. දෙවනුව න්‍යාය ගැන බලමු. 

ලිවුවේ 2018. 04. 03 (4:08)



No comments:

Post a Comment