Saturday, April 28, 2018

ඊළම වෙනුවෙන් කැපකළ ඉන්දියානු රුධිරය (INDIAN BLOOD FOR TAMIL EELAM)

 28,Apr 2018
බොහෝ විට අපට බාහිර ලෝකයේ ඇති දේවල් පිළිබදව අලුතෙන්ම දැන ගැනීමට හැකිවන්නේ ස්වභාවධර්මය තරණය කිරීමට ගවේෂකයන් ගන්නා උත්හාස හරහා ය.
ඇකඩමික ශික්ෂණයක් ලෙස මේ වනවිට වර්ධනය වී ඇති සංචරණය සම්බන්ධ සාහිත්‍යය (tourism literature) තුළ කියවෙන පරිදි ලෝකයේ මිනිසා කිසිදා නොදුටුව නව ස්ථාන ගවේෂණය කරන්නේ ඉතාම දුෂ්කර තත්ත්ව යටතේ ස්වභාව ධර්මයේ යථාව හඹා යන්නවුන් ය.nandana 01
විමුක්ති රූපකයක් නොවන සංචාරකයා
අරමුණු කුමක් වුවද කොලම්බස් හෝ වස්කෝ ද ගාමා අයිති වන්නේ මෙම මුලික සොයා යෑමේ කාණ්ඩයට ය. ඔවුන් විසින් කරන ලද්දේ මෙතෙක් මිනිස් විෂය තුළ තිබු දැනුම් සීමාව ඉක්මවා යාමට උත්සාහ කිරීම (ලෝකය මහා ප්‍රපාතයකින් අවසන් වන බවට වූ සමකාලීන මධ්‍යතන මිථ්‍යාව අභියෝගයට ලක් කිරීම) යි. එම ඉක්මවා යාම ඔස්සේ නව ලෝකයක් ගවේෂණය කිරීමයි. එම යථාව සොයා යාම ජීවිතය සහ මරණය අතර දුෂ්කර ව්‍යායාමයකි. එමෙන්ම විනෝද අරමුණක් නොමැතිව නව ස්ථාන ගවේෂණය කරන ලද තවත් කොට්ඨාසයක් ලෙස හැඳින්වෙන්නේ හිපියන් (hippies) ය. විශිෂ්ට ඇමෙරිකානු සමාජ විද්‍යාඥයෙක් වූ ඩීන් මැක්කැනෙල් (Dean MacCannell) විසින් ලියන ලද The Tourist: A New Theory of the Leisure Class නම් ග්‍රන්ථයට අනුව පශ්චාත් කාර්මික සන්දර්භයක විකසිත වන විගලිත මධ්‍යම පන්තිය විසින් ලෝකයේ සංචාරක ස්ථාන යනුවෙන් වෙන්කර ඇති ස්ථාන සඳහා සංචරණය කරන්නේ මතුපිට දෘෂ්‍යමානය අරමුණු කරගනිමින් බව ප්‍රකාශ කර සිටි. යම් යම් ජන සමාජවල ඇතුළත යථාර්ථය නොදකින ඔවුන් එම දුප්පත් සමාජවල යථාවේ නොගැලෙමින් පිටත සෞන්දර්යය තුළ පමණක් සිට භාවනා කරමීන් දින කිහිපයක් සිටිමින් ඉන් පිටත්ව යයි. ඒ අනුව ගවේෂකයා නුතන රුපකයක් වන විට සංචාරකයා පස්චාත් නුතන රුපකයක් ගන්නා බව මැක්කැනල් පෙන්වා දෙයි. සංචාරකයා මේ අනුව විමුක්ති (revolutionary) රූපකයක් නොව සංස්කෘතික පාරිභෝගිකයෙකි (cultural consumer). ඉහත පොතේ මුල්ම කවරය දෙස බැලු විට බාහිර යථාර්ථයේ නොගැටී තමාගේ ලෝකයක සිටිමින් භාවනා කරන මාධ්‍ය පන්තික සංචාරකයා පිළිබද ඔබට ලක්ෂණ මිමංසාමය (semiotic) අදහසක් ගත හැකිය.
දකුණේ සාමාන්‍ය යුද විරෝධය ද ඉක්ම වීම
යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වලට දකුණේ මිනිසුන් පැමිණියේ යුද්ධයේ ක්ෂිතිය පරිභෝජනය කරන්නවුන් ලෙස මිස එම ජන කොට්ටාශයේ අප නොදුටුව අඳුරු පැත්ත ගවේෂණය කිරීම සඳහා නොවේ. ඔවුන්ගේ අරගලයේ යථාව මුණගැසී ම පිණිස ද නොවේ. යුද්ධයේ ක්ෂිතිය දකුණේ සමාජය එවකට භවිතා කළේ ඔවුන්ගේ ඉඩම් කොල්ලකෑමේ සායනික- කම්පන අවස්ථාවක් ලෙසය (කියවන්න නයෝමි ක්ලේන් ගේ The Shock Doctrine: The Rise of Disaster Capitalism කෘතිය). ඇයට අනුව ධනවාදය තම වෙළෙඳපොළ ව්‍යාප්ත කර ගැනීම සඳහා මිනිස් ශිෂ්ටාචාරයේ අතිශය කම්පන අවස්ථා (ආපදා ධනවාදය) භාවිතා කරයි. අනෝමා පිරිස් මෙම සංචාරක තත්ත්වය හඳුන්වන්නේ දකුණේ පාරිභෝගික විවේකය විසින් උතුර තවත් වරක් ආක්‍රමණය කිරීමක් (කියවන්න ඇයගේ Southern Invasions: Post-war Tourism in Sri Lanka නම් පර්යේෂණ පත්‍රිකාව) ලෙසය. සිංහල බෞද්ධයින් විසින් යනු ලබන තවත් එක් සාමාන්‍යය වන්දනා ගමනක් ලෙස මෙම අඳුරු සංචරණය (dark tourism) හඳුන්වන ඇය තව දුරටත් විග්‍රහ කරන්නේ අනෙකාගේ වේදනාව සහ මරණය  තම වන්දනා විනෝදය පිණිස ලඝු කිරීමක් (thanatourism or grief tourism) ලෙසය. එසේනම් එම විනෝදය ද පස්චාත් නුතන තත්වයකි. මෙම විනෝද සන්ධර්භය තුල එසේනම් අප දෙමල සමාජයේ සහ එහි විමුක්ති අරගලයේ අභ්‍යන්තර පරස්පරතා එළිදරව් කරන නන්දන වීරරත්න ගේ Indian Blood for Tamil Eelam (2018) වාර්තා චිත්‍රපටය ස්ථානගත කරන්නේ කෙසේද? ඉහත සන්දර්භය තුළ විභාග කළ විට මතුපිටින් ඔබ්බට ගොස් යථාව වෙත පය තබන නන්දන ගේ ව්‍යායාමය ප්‍රබල නුතන ලක්ෂණ පළකරන්නක් බව මගේ මතයයි. එම ව්‍යායාමය තුළ දකුණේ සාමාන්‍ය යුද විරෝධී කතිකාව පවා ඉක්මවා යාමට ඔහු සමත් වෙයි.
LTTE සංවිධානය විසංයෝජනය කිරීම
නන්දන වීරරත්නගේ ‘Indian Blood for Tamil Eelam’ නමැති වාර්තා චිත්‍රපටය නැරඹූ විට එකවරම සිතට නැගුණ කරුණ නම්, ලංකාවේ සමාජ-මානව විද්‍යාඥයන්ට මෙවන් දේ මඟ හැරෙන්නේ කෙසේද යන්නය. අවසානයේ මාධ්‍යවේදියෙක් ලෙස නන්දන සහෝදරයා විසින් මේ දේවල් සාකච්ඡා කරන තුරු රජයේ පඩි නඩි ගන්නා බුද්ධිමතුන් සිටියේ කොතැන දැයි ඇසිය යුතු ය. මෙවැනි අතිශය තීරණාත්මක දෑ ගවේෂණය කිරීම වෙනුවෙන් ඇකඩමික බුද්ධිමතුන් වෙනුවෙන් සාපේක්ෂ ඉහළ වැටුපක් ලබාදීම සහ නාම ලේඛන අත්සන් කිරීම යන ක්‍රියාවලින් ඔවුන් නිදහස් කර ඇත. එම සොයාගැනීම්වලින් ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීම සඳහා රාජ්‍යය විසින් ඔවුන්ට විශාල දිරි දීමනා ලබාදීම සිදුකරනු ලබයි. එම නිදහස මුල්‍ය ප්‍රතිලාභ ඉක්මවා යන තත්ත්වයක් වන අතර සත්‍යය වශයෙන්ම එය පාරිභෝගික කළ නොහැකි ය. අධ්‍යාපනය විකුණා නොදමන ලෙස කරන සටන සඳහා එකම සාධාරණ භූමියක් ලැබෙන තැන මෙතැන ය.  මෙවන් සොයාගැනීම් ඔස්සේ මිනිස් සමාජය දෘෂ්‍යමානය ඉක්මවා ප්‍රපංචයක් දෙස බැලීමට පෙලඹ වේ. නන්දන ගේ ව්‍යායාමය තුළ අපි දන්නා LTTE සංවිධානය එක්තරා ආකාරයකට විසංයෝජනය කිරීමක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. විශේෂයෙන් ඔවුන්ගේ ගැහැනිය සහ කුලය ගැන තිබුණ අභ්‍යන්තර ආකල්ප වැනි දේවල් හෙළිදරව් කිරීම ඔස්සේ (ඔවුන් විසින් ගැහැනිය සටනේදී රැඩිකල්කරණය කළා සේ ම) අපට පෙරදිග විමුක්ති සංවිධානවල පැවති පසුගාමී ලක්ෂණ තේරුම් ගත හැකි ය. අඩු තරමින් අපට පසු පරම්පරාව හෝ එයින් යමක් ඉගෙන ගෙන පැරණි අගතීන් ගෙන් ඛණ්ඩනය වී යම්තාක් වෙනස් ආකාරයකට විමුක්ති සටන තුළ නියැළීමට එය ධනතාමක්ව බලපෑ හැකි ය. nandana 02  
අදෘශ්‍යමාන ඒජන්තයා
ඒ අර්ථයෙන් නන්දන විසින් අප වෙත මුණ ගස්වනු ලබන මෙම යථාර්ථය අපි අර්ථකතනය කරගන්නේ කෙසේද? මේ අලුත් දේ තුළ කියවෙන්නේ කුමක්ද? මතුපිටට නොපෙනුණ කරුණ නම් ඊළාම් යුද්ධය සඳහා ලේ දහදිය වැඩියෙන් වගුරවා ඇත්තේ අප කවුරුත් නොහිතන ලද අදෘශ්‍යමාන ඒජන්තයෙක් (invisible agent) විසින් ය යන්නය. එනම් කිසිදු බුර්ෂුවා පාලකයෙක් විසින් හෝ විමුක්ති ව්‍යාපාර විසින් ද හඳුනා නොගන්නා ලද (කවුරුත් නොදකින) උඩරට වතු දෙමළ (ඉන්දීය) සම්භවයක් ඇති පිඩිත තරුණ කොටස් විසින් එක්තරා ලාංකික අරගලයක් අතිශය සටන්කාමී ප්‍රපංචයක් බවට පත්කර ඇති බව අප තේරුම් ගත යුතුය. නන්දන නිවැරැදිව ම පවසන ආකාරයට රටක් නැති විගලිත මිනිසුන් පිරිසක් විසින් තමන්ට රටක් නොමැති හේතුවෙන් 'පරිකල්පනීය රටක්' (imaginary state) වෙනුවෙන් තම ජිවිත පුජා කළා පමණක් නොව ඉන්දීය සහ ලාංකික මධ්‍යම පන්තිය ක්ෂිතියට පත් කර ඇති බව අප මෙහිදී අර්ථවත් කරගත යුතුය.
ඉංග්‍රීසි යටත් විජිත පාලනය විසින් මුල් උගුල්ලා දමන ලද සහ පශ්චාත් සිංහල යටත් විජිත රාජ්‍ය විසින් නැවතත් මේ රටෙන් එළවා දැමීමට කටයුතු කරන ලද මෙම අතිශයින් විගලිත ජනකොටස ප්‍රතිචාර දක්වන ලද්දේ මුලින් ගාන්ධියානු අයුරකින් ආරම්භ වූ දෙමළ අරගලය පසුව ලේ ගංගාවක් බවට විපරිවර්තනය කරමින් යන්න මෙහි සමස්ත දේශපාලන අර්ථය යි. තුවාල වුණ ඔවුන්ගේ අහම අවසානයේ නතර වී ඇත්තේ ස්වයං-ඝාතන ලිබිඩෝවකිනි. නැවතත් මෙතැනදී අපිට හිතන්න උදව් කරන්නේ පශ්චාත් යටත් විජිත තත්ත්වය පිළිබද දාර්ශනික අදහස් ය. කොහේටවත් අයිති නොවන මේ ජනයා තමන්ගේ අනන්‍යතා අර්බුදය තුළ වඩ වඩාත් සටන්කාමී වී ඇත. විනාශ වී යන තම ශරීර විසින් ම තම වීරත්වයේ අනන්‍යතාව (ශරීර දේශපාලනය) ඔවුන් ගොඩනගා ඇත. කෙසේ වුවද තමාටත් වඩා සටන්කාමී වූ එම ජන කොටස LTTE සංවිධානය විසින්ම අවසානයේදී අමතක කර දමනු ලැබ ඇත. තමන්ටත් වඩා සටන්කාමී වූ (ස්වාමිත්වය ඉක්මවා යන) එම ප්‍රජාව කෙරෙහි ඔවුන් ඇතැම් විට බියපත් වන්නට ඇත.  එයින් කියවෙන්නේ සත්‍ය සටන්කරුවන් ඉදිරියට පැමිණෙන විට ඇතැම් විට LTTE සංවිධානය තුළ ම තිබු හීනමානය නොවිය හැකිද?
නිශ්ශංක සේනාධිපති සහ සෝමාලියානු කොල්ලකරුවෝ
නන්දන ගේ වාර්තා චිත්‍රපටය නැරඹූ මොහොතේ ම මට සිහිවූ තවත් නිර්මාණයක් නම්, පසුගියදා ඔස්කා නාමකරණය සඳහා තෝරා ගැනුණු The Pirates of Somalia (2017) නම් චිත්‍රපටයයි. එම චිත්‍රපටය තුළ නිරුපණය කරන්නේ කැනේඩියානු මාධ්‍යවේදියෙක් වන ජේ. බහදුර් (Jay Bahadur) විසින් සෝමාලියානු මුහුදු කොල්ලකරුන්වන් පිළබඳව කරන වැදගත් නිරීක්ෂණ කිහිපයකි. ලෝක ගෝලය තුළ ඇති සෑම අධිපති මාධ්‍යයක් විසින් ම ‘කොල්ලකරුවන්’ ලෙස හංවඩු ගසා ඇති යටත් විජිත කරණය තුළ අන්ත දුප්පත් ජාතියක් වී ඇති සෝමාලියානු ජනයාගේ සැබෑ අනන්‍යතා අර්බුදය හෙළිදරව් කිරීම සඳහා ඔවුන් එම මොහොතේ තෝරා ගන්නේ බහදුර් ය. ඒ වනවිට එතරම් නමක් දිනා නොසිටි නිදහස් මාධ්‍යවේදියෙක් වූ ඔහුගේ සැකය වුවේ නිව්යෝක් ටයිම්ස්, බී බී. සී., ග්ලෝබ්, හෝ ලන්ඩන් ටයිම්ස් යනාදි මාධ්‍යය ආයතනයක හැදුනුම් පත නැතිව ඔහු සෝමාලියානු 'කොල්ලකරුවන්’ අතරට යන්නේ කෙසේද යන ගැටලුව ය. නැත්නම් වෙනත් ජාතියක අනන්‍යතා අර්බුදයක් ගවේෂණය කිරීම සඳහා තිබිය යුතු ඔහුගේ අනන්‍යතාවය පිළිබඳ ආත්ම විශ්වාසය පිළිබද ගැටලුවෙන් ඔහු පීඩා විඳිමින් සිටී.  නමුත් එම ආත්ම විශ්වාසය පිළිබද ගැටලුව ඒ වනවිට විසඳා ගෙන තිබුන සෝමාලි අරගලකරුවන් කියන්නේ ඔබගේ අනන්‍යතාවයෙන් අපට වැඩක් නැති බවත් හැකිනම් පැමිණ තමන්ගේ සත්‍යය කතාව (අරගලය තුල ඔහුගේ කාර්යය කිරීමෙන් පමණක් ඔහුට අනන්‍යතාවයක් ලැබෙනු ඇති බව ඔවුන් දැන සිටියා වැනිය) ලොවට රැගෙන යන ලෙසත් ය. ඔවුන්ගේ සටන අභ්‍යන්තරයට යනවිට බහදුර් ට වැටහුණ කරුණ නම්, මෙය කොල්ලකෑමකට වඩා වැඩි විසිරුණු එහෙත් ජාතිකත්ව සටනක් (මන්ද පෝෂණයෙන් පීඩා විඳින තවත් බටහිර ජාතීන්ගේ යටත් විජිතයක උපන් ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති කියන්නේ එම ‘කොල්ලකරුවන්ට’ බර අවිවලින් පහර දී ඔවුන් මර්දනය කර, වෙළඳ නැව් ගමන් කරවා, ධනේශ්වර වෙළෙඳපොළ ප්‍රසාරණය කිරීමට තමාට වුවමනා වූ බවයි. දිගට ම මාධ්‍ය තුළ පෙනී සිටිය ද කිසිම් මාධ්‍යවේදියෙක් විසින් ඔහුගෙන් එම 'බර අවි ක්‍රියාවේ' ආචාර ධාර්මික දේශපාලනික අන්තර්ගතය ප්‍රශ්න කළේ නැත. එම දුප්පත් ජාතියේ අරගලයට බර අවිවලින් ගැසීම සියල්ලන්ටම ස්වභාවික දෙයක් විය. එතැනදී සේනාධිපති ට ලිපිවලින් උදව්කරන්නේ විශ්වීය බව ගැන ලොවට පුරාජේරු ගසන එක්සත් ජාතීන්ය!) බවයි.nandana 03
සෝමාලියානු කොල්ලකරුවෝ සහ රොබින්හුඩ්
බහදුර්ට සොමලියවේදී හමුවන මරියම් නම් සෝමාලි කොල්ලකරුවකුගේ එක් බිරිඳක් පවසන්නේ සෝමාලියානු ජාතියේ ජාතිකත්ව අරගලය නම් 'සත්‍යය'  ලෝකයට හෙළිදරව් කරන්න යනුවෙනි. 'අපේ මිනිස්සු' යනුවෙන් ඇය හඳුන්වන්නේ කොල්ලකරුවන් නම් බටහිර ලේබලයට ඔබ්බෙන් පවතින සෝමාලියානු ජාතියේ උත්කෘෂ්ට ඉතිහාසය, සාමකාමී බව සහ ප්‍රෞඪත්වයයි. කාව්‍යමය බවට ආශා කළ සෝමාලියානු ගෝත්‍රිකයන් ට තුවක්කු සහ කොල්ලකෑම හඳුන්වා දුන්නේ යටත් විජිතකරණය සඳහා පැමිණි කඩප්පුලි (ලිංගික කුහකත්වය අපට හදුන්වා දුන්නේද මේ 'තක්කඩියන්' ම ය) බටහිර ජාතීන් ය. ඉන් පසුව පවා පැවති සෝමාලියානු මැතිවරණ සාමකාමී විය. බහදුර්ට හමුවන භාෂා පරිවර්තක ට අනුව මෙම සෝමාලියානු කොල්ලකරුවන් ඔවුන්ට රොබින් හුඩ් බඳු විරයෝ ය. කොල්ල කාගත් ධනය(චිත්‍රපටයේ එන කුඩා කාටුනයට අනුව) ඔවුන් විසින් තම සමාජය වෙත බෙදාහරිනු ලබයි. තම සමුද්‍ර කලාපය වෙනුවෙන් ඔවුන් සටන් කරයි; වෙනත් අයට ඕනැ විදියට තම සමුද්‍ර කලාපය සුරාකෑමට ඔවුන් ඉඩ නොදෙයි. බිඳ වැටුණ නපුන්සක බටහිර ගැති රාජ්‍යයේ හිස් බව තුළින් ඉස්මතු වන්නේ මෙම රොබින් හුඩ් නැත්නම් සරදියෙල් රූපකය යි. එම සරණක් නැති එහෙත් අතීතයක් ඇති ජාතියේ  තම අනන්‍යතාව වෙනුවෙන් සටන් කරන (වමේ කතිකාවට එතරම් පැහැදිලි නැති වුවද දෙමළ මිනිසුන් ප්‍රභාකරන්ට ආශා කළේ ඇයි යන්න සහ මුස්ලිම් මිනිසුන් ඔසාමා බින් ලාඩන්ට ආශා කළේ මන්ද යන්න මෙහිදී පැහැදිලි වනු ඇත. අධිරාජ්‍ය විරෝධී සටන වැටී ඇත්තේ ජාතිකත්වය හරහාය යන්න අප කිසිසේත් අමතක කල යුතු නැත) එම 'සරදියෙල්ට' (රූපයට) ආශා කරයි. සරමක් ඇඳගෙන පිස්තෝලයක් ඉනේ බැඳගෙන සටන් කරන ‘කොල්ලකරුවන්’ යන වචනය වෙනුවට සෝමාලියානු වැසියන් පාවිච්චි කරන වචනය (අද දවසේ අපේ වමට නැත්තේ ‘බෝයන්’ වැනි වීරයන් යැයි මා කිවහොත් එයට වම අමනාප නොවනු ඇතැයි සිතමි) ‘තම මුහුද ආරක්ෂා කරන්නන්’ යන්නය.  බහදුර් ට මුලින්ම වෙඩි තැබීමට උගන්වන බෝයන් කියන්නේ ‘වෛරය පිණිස තබනා වෙඩිල්ල නිරපරාදේ ගිය උණ්ඩයක් යනුවෙණි’. ඔහුට අනුව ‘වෙඩිල්ලක් තබනවානම් තැබිය යුත්තේ ජයග්‍රහණය පිණිසය’. මා සිතන හැටියට වෛරය පදනම් කරගෙන ලංකාවේ වමේ අය තබන බොහොමයක් වෙඩි නිරපරාද උණ්ඩ ය. nandana 04   
ශරීර දේශපාලනයේ වටිනාකම
චිත්‍රපටයේ එන බෝයන් නම් දේශීය සරදියෙල් චරිතය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා එම චිත්‍රපටය තුළ ම ඇති කුඩා කාටුන් චිත්‍රපටය දෙස බැලීම වැදගත්ය. මුහුදු සිමාව තුළ ගමන් කරන වෙළෙඳ නැව‍ෙවලට කඩා පනින ඔහු කිසිවෙක් මරන්නේ නැත. රැජිනගේ කොඩිය යටතේ අධිරාජ්‍ය වෙත වස්තුව එහා මෙහා ගෙන යන පොහොසත් නාවුක සමාගම් සමග කේවල් කර තමන් අල්ලා ගත් නැව වෙනුවෙන් මිලියන ගණනක් මුදල් ලබාගන්නා බෝයන් එම මුදල් මල්ල සෝමාලි සමාජය වෙත (නිශ්ශංක සේනාධිපති එම මුදල් විශ්‍රාම ගිය ඉහල හමුදා නිලධාරීන් අතර බෙදා දෙයි!) විසිකර දමයි. බුඩී කිර්තිසේන ගේ 'මිල්ලේ සොයා' චිත්‍රපටයේ සල්ලි සොයා දිව්‍ය ලෝකයට යන ඇතුළත කාටුනයට සමාන මෙහි හැමෝම ලුම්පන් නිර්ධන යැයි සම්භාව්‍ය මාක්ස්වාදීන් සිතන බෝයන් විසිකර දමන සල්ලි අහුලා ගැනීමට පොරකයි. පාසල් යන වයසේ කුඩා දරුවන්ගේ වීරයෙක් වන ඔහු බවට පත්වීමට කුඩා දරුවන් උත්සාහ කරයි. දරුවන් පාසල් යනවා වෙනුවට බෝයන් කෙනෙක් වීමට දඟලන බව බහදුර්ට හමුවන සෝමාලි ජනපති පවසයි. අවසානයේ සල්ලි මල්ල සෝමාලි සමාජයට විසිකරන ලදුව බෝයන්, මත්වීම සඳහා සෝමාලියානුවන් හපන ගස් මුලක් හපමින් සුර්ය රශ්මියෙන් ඒකාලෝක වැලි කතර මෙන්වූ ශුන්‍යතාවය වෙත පියනගයි. අන්තයටම සූරාකන ලදුව පොළොවේ වැලි මිස අන් කිසිවක් ඉතුරු නොවූ දරිද්‍ර සෝමාලි සමාජය වෙත  කැපකළ ඔහුගේ ‘ශරීර දේශපාලනය’ එයයි. නන්දන පවා කියන්නේ ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් ඇති මිනිසුන් තම අහිමි කළ ඉතිහාසය වෙනුවෙන් කළ ශරීර කැපකිරීම ය.  
නන්දනගේ පාඩම සහ තුන්වන ලෝකයේ ගැහැනියගේ දෛවය
මුලින් අධිපති මාධ්‍යය කිසිදු සැලකිල්ලක් නොදැක්වුව ද බහදුර් විසින් සොයාගත් කරුණු අවසානයේ සියල්ලන්ටම වුවමනා වේ. මන්ද සියලු දෙනාට අවශ්‍ය වෙළෙඳපොළ පුළුල් වීම බැවින් මෙම තත්ත්වයට කුමක් හෝ කළයුතු වීම එයට හේතුවයි. බහදුර් අවසානයට ලෝකයට කියන්නේ මෙවැන්නකි. ‘‘බර අවිවලින් ගැසීම පසෙක තබා එම කැරළිකරුවන්ගේ අනන්‍යතාවය පිළිගන්න’’ යනුවෙනි. සොමලියානුවන් දෙස බලා තම බටහිර ජාතියේම තරුණ විය ගැන සිතන ලෙස ඔහු බටහිරට කියයි. සෝමාලියානුවන් පවා බටහිර ටී ෂර්ට් එකකට අව් කණ්නාඩියකට අර්චන ලෙස ආශා කරයි. ඔවුන්ට බටහිර අධිපති සිනමාව ගැන දේශපාලන විවේචන ඇත. ඔවුන් ඉංග්‍රීසි ඉගෙනීමට ආශා කරයි. බටහිර දියුණු දේ වෙත පෙම් බඳින ඔවුන් බටහිර මුග්ධ දේශපාලනය විවේචනය කරයි. ඔවුන් ඔබාමා ගැන දනී. ඔවුන් බටහිර ගැනද දනී. ඔවුන් මෝඩයන් නොවේ. අනන්‍යතා දේශපාලනය වැරදි දිශානති කරා ළඟා විය හැකි වුවද එහි දේශපාලන තෙරපුම අපට අව තක්සේරු කළ නොහැකි ය. (ආගමික අනන්‍යතාව පදනම් කරගත අල්කයිඩා යනුද මෙවැනිම ප්‍රපංචයකි). නන්දන විසින් අපට  උගන්වනු ලබන පාඩම එය යි.nandana 05
නන්දන ගේ වාර්තා චිත්‍රපටයේ පාපොච්චාරණය කරන එම දෙමළ තරුණිය එක්තරා අයුරකින් සුවපත් වන්නේ තම කතාව නන්දන හමුවේ එළිදරව් කිරීමෙනි. එය ඇයගේ පිඩිත ජනතාවගේ කතාවයි. ඉතිහාසයක් අහිමි කළ එහෙත් ඉතිහාසයක් අයිති බවේ කතාවයි. ස්ත්‍රියක් වීම නිසා ම ඇයට සිදුවී ඇති අවාසනාවන්ත ඉරණම මෙන්ම හිටපු කාඩර්වරියක් වීම නිසාමත් පිරිමි ඇය දෙස බලන ආකාරය මෙන්ම එම පිරිමි ආකල්පවල ඇති පසුගාමී තත්ත්ව යන බොහෝ දේ මෙම වාර්තා චිත්‍රපටය තුළින් අපට පැහැදිලි වේ. එය ඉහත Pirates of Somalia චිත්‍රපටයේ මරියම් කියන පරිදි මෙම යටත් විජිත තුන්වන ලෝකයේ ගැහැනියගේ දෛවය හොලිවුඩ් ප්‍රේම ජවනිකාවක එන දෙබසක් තුළට ඌනනය කළ නොහැකි ය.
ගෝලීයකරණය බහමුවේ මැල්කම් X
ඉහත චිත්‍රපටයේ මරියම් යනු ද එක් මුහුදු කොල්ලකරුවකුගේ තවත් එක් බිරිඳකි (වික්ටෝරියානු බව වෙනුවට ප්‍රතිජීවනය වී ඇත්තේ පැරණි ගෝත්‍රික වටිනාකම්ය). සමාජ අසමානතාවය නිසා එක් වරකුත් ගැහැනියක් වීම නිසා තව වරකුත් ලෙස ද්විත්ව ඉවත් කිරීමකට (double removal) ඇය ඉතිහාසය තුළ භාජනය වී ඇත. කම්ලා බාසින් (Kamla Bhasin) විසින් හඳුනා ගනු ලබන මෙම ද්විත්ව බහිස්කරණය නාගේස්වරී සම්බන්දයෙන් තවත් සත්‍යය වන්නේ ඉන්දියානු කුල ස්ථාරයනය නැවතත් ඇයව ලංකාව තුළ පෙළන නිසා ය. සිංහල බෞද්ධ සමාජයේ කුල ක්‍රමය වෙනස් වෙමින්, නම් ගම වෙනස් කරමින්, අධ්‍යාපනය තුළින් සමාජ සංචලතාව අත්පත් කරගෙන තිබුණ ද, ඉන්දියානු ද්‍රවිඩයින් සඳහා උතුරේ වෙල්ලාල කුලය තුළ තවමත් ඇත්තේ නොවෙනස් ආකල්පයකි. එයින් ගැලවීමට LTTE සංවිධානයට පවා නොහැකි වූ බව නන්දන ගවේෂණය කරයි. නන්දනගේ නිර්ක්ෂණ නිවැරදි නම් පුර්ව නුතන වටිනාකම් විසින් ගොඩනගන ලද ස්ත්‍රිත්ව ෆැන්ටසියෙන් ගැලවීමට තමිල් චෙල්වම් ට පවා නොහැකිවීම දෛවයේ සරදමක් නොවන්නේ ද?
nandana 06
තවත් යමක් සිහිපත් කරමින් මෙම ලිපිය අවසන් කරමි. මුළු ලෝක ගෝලය ම එක කටකට ගිලගැනීමට ගෝලීය ධනවාදය රාක්ෂයෙක් මෙන් තතනන විටක අවසානයේ ප්‍රතිචාර දැක්වීමට හෝ පරිවාරයේ ජාතීන්ට ඉතුරු වී ඇත්තේ තම පැරණි ලෝකයේ වටිනාකම් පමණක් නම් එවිට...? එසේ නම් නන්දනගේ වාර්තා චිත්‍රපටයෙන් මෙන්ම The Pirates of Somalia චිත්‍රපටයෙන් ද මතුවිය යුතු සංවාදය එය නොවේද? එම ප්‍රශ්නය මා මතු කරන්නේ සුදු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍ය, අහංකාරය සහ අවමානය අබියස මැල්කම් එක්ස් පවා ඉස්ලාමය වැළඳ ගත් බව මෙනෙහි කරමිනි.
මහේෂ් හපුගොඩ
(SIS.lk)
https://sis.lk/film/item/544-indian-blood-for-tamil-eelam

No comments:

Post a Comment