Monday, April 23, 2018

දෙමළ ඊළම වෙනුවෙන් ඉන්දියානු ලේ....



Indian Blood for Tamil Eelam (2017) කියන නන්දන වීරරත්න ගේ වාර්තා චිත්‍රපටය බලපුවාම මට එකපාරටම හිතුනේ කෝ ලංකාවේ සමාජ-මානව විද්‍යාඥයෝ කියන එක. අන්තිමට මාධ්‍යවේදියෙක් හැටියට නන්දන සහෝදරයා විසින් මේ දේවල් කතා කරන කල් රජයේ පඩි නඩි ගන්න බුද්ධිමතුන් කොහෙද ඉඳල තියෙන්නේ කියන එක තමයි අන්තිමට අහන්න වෙලා තියෙන්නේ. මේ වගේ අතිශය තීරණාත්මක දේවල් හොයල දෙන්න සහ එම සොයාගැනීම් වලින් ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන්න තමයි ඔවුන්ට සාමාන්‍යයෙන් ඉහළ වැටුපක් දෙන්නේ. මෙවන් සොයාගැනීම් ඔස්සේ අපි දෘෂ්‍යමානය ඉක්මවා ප්‍රපංචයක් දිහා බලන්න පෙළඹ වෙනවා . අපි දන්නා කොටි සංවිධානය එක්තරා ආකාරයකට විසංයෝජනය වෙනවා කියන්නත් පුළුවන්. විශේෂයෙන් ඔවුන්ගේ ගැහැණිය සහ කුලය ගැන තිබුණ අභ්‍යන්තර ආකල්ප වගේ දේවල් හෙළිදරව් කිරීම ඔස්සේ (ගැහැණිය සටනේදී රැඩිකල් කළා වගේම) අපට පෙරදිග විමුක්ති සංවිධාන වල තිබුන පසුගාමී ලක්ෂණ තේරුම් ගත හැකියි. අඩු තරමින් පස්සේ පරම්පරාව හෝ එයින් යමක් ඉගෙන ගෙන හැදෙයි කියල අපි මොහොතකට ධනාත්මකව හිතමුකෝ.  

එතකොට නන්දන ගෙනෙන මේ අලුත් දේ තුල කියවෙන්නේ කුමක්ද? මතුපිට ට නොපෙනුන කරුණ නම් ඊලාම් යුද්ධය සඳහා ලේ දහදිය වැඩියෙන් වගුරවල තියෙන්නේ අපි කවුරුත් නොහිතපු අදෘශ්‍යමාන ඒජන්තයෙක් (invisible agent) විසින්. එනම් කවුරුත් නොදකින උඩරට වතු දෙමල (ඉන්දීය) සම්භවයක් ඇති පිඩිත තරුණ කොටස් කියන එක අප තේරුම් ගත යුතුයි. නන්දන හරියටම කියන විදියට රටක් නැති විගලිත මිනිසුන් ටිකක් තමයි 'පරිකල්පනීය රටක්' (imaginary state) වෙනුවෙන් තම ජිවිත පුජා කරලා තියෙන්නේ. ඉංග්‍රීසි යටත් විජිත පාලනය විසින් මුල් උගුල්ලා දාපු සහ පශ්චාත් සිංහල යටත් විජිත රාජ්‍ය විසින් නැවතත් මේ රටෙන් එළවල දාන්න හදපු ජන කොටසක් තමයි මේ අය. නැවතත් මෙතැනදී අපිට හිතන්න උදව් කරන්නේ පශ්චාත් යටත් විජිත තත්වය පිළිබද දාර්ශනික අදහස්. කොහේටවත් අයිති නොවන මේ ජනයා තමයි වැඩියෙන්ම සටන්කාමී වෙන්නේ තමන්ගේ අනන්‍යතා අර්බුදය ඇතුලේ. අන්තිමට කොටි සංවිධානයම ඔවුන් අමතක කරලා දමනවා ඔවුන්ගේ අරගලය යම් කඩඉමකට එනකොට. එතකොට මේ මිනිස්සු අයිති වෙන්නේ කොහාටද? 

No comments:

Post a Comment