ප්‍රථම ලෝකයට (නේටෝ රටවල්) සහ ද්විතීයක ලෝකයට (කොමියුනිස්ට් රටවල්) අයත් නොවන රටවල් තුන්වැනි ලෝකය ලෙස තුන්වන ලෝක න්‍යාය යටතේ පොදුවේ නම් කලත්, අධිරාජ්‍යවාදී පාලකයන් විසින් ක්‍රමානුකුලව සුරා කෑමට භාජනය කරන ලද සියලු රටවල් තුන්වන ලෝකයට අයත් යැයි මාවෝ විශ්වාස කරයි.
එනයින් ඔහු චීනය සහ ඉන්දියාව තුන්වැනි ලෝකයේ රටවල් ලෙස එවකට නම් කළේ බටහිර විසින් චීනය දෙවන ලෝකයටත් ඉන්දියාව තෙවන ලෝකයටත් කට්ටි කරනු ලබමින් තිබු වකවානුවක ය. මෙම ක්‍රමානුකුල සුරා කෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තුන්වැනි ලෝකයේ රටවල් කේන්ද්‍රයේ රටවල් මත පරායත්ත වෙමින් පවතින බව පරායත්ත න්‍යාය (dependency theory) ඔස්සේ අන්ද්‍රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක් (Andre Gunder Frank) පෙන්වා දෙන අතර එනයින් මාක්ස් ගේ ඉතිහාසයේ අවධි පිළිබඳ න්‍යාය ඔහු අභියෝගයට ලක් කරයි. කලාපිය මට්ටමෙන් පවතින ශ්‍රමයේ ඇති නුපුහුණු බව, ප්‍රාග්ධනයේ ස්වරුපය, තාක්ෂණය සහ අමුද්‍රව්‍යවල ගුණාත්මක බව සහ ශ්‍රමය ප්‍රාග්ධනයට සම්බන්ධ වන ස්වරුපයේ ඇති කාර්යක්ෂම බව පදනම් කරගෙන කේන්ද්‍රයේ (core) සහ පරිවාරයේ (periphery) රටවල් ලෙස ලෝකය බෙදා දක්වන ඔහු තාක්ෂණයේ ඇතිවෙමින් පවතින විප්ලවය මතින් ඉතිහාසයේ අවධි වෙනස් වෙමින් යන බව ද නිරීක්ෂණය කරයි.
ප්‍රාග්ධනය බැහැර කරන සංක්‍රමණිකයෝ
අද වන විට ඩේලි මේල් වෙබ් අඩවියට අනුව තුන්වැනි ලෝකයේ විශාල ප්‍රමාණයක් කේන්ද්‍රයේ රටවල් වෙත සංක්‍රමය වී ඇත. කොතරම් ප්‍රාග්ධන විතැන් වීම් සිදුව ඇතත් අදටත් චීනයට හෝ ඉන්දියාවට මිනිසුන් පදිංචි වීමට යන්නේ නැත. 2015 වනවිට ලෝකයේ වැඩියෙන්ම සංක්‍රමණිකයින් ආගමනය වූ කේන්ද්‍රයේ රටවල් පහත දැක්වේ.
එක්සත් ජනපදය (United States) 46,630,000
ජර්මනිය (Germany) 12,010,000
එක්සත් රාජ්‍යය (United Kingdom) 8,540,000
කැනඩාව (Canada) 7,840,000
ප්‍රංශය (France) 7,780,000
ඔස්ට්‍රේලියාව (Australia) 6,760,000
ස්පාඥය (Spain) 5,850,000
කාර්මීකරණයත් සමග ඇතිවූ තාක්ෂණයේ නොසිතු වාසිය (ආපතික) මත කාර්මිකකරණය නොවූ රටවල් මත ආධිපත්‍ය පැතිරීම කේන්ද්‍රයට පහසු වූ බව ඉහත න්‍යාය ඔස්සේම වොලන්ස්ටයින් පෙන්වා දෙයි. ධනවාදයේ ඉස්මතු වීම ඔස්සේ මෙය සමාජ විද්‍යා දැනුමේ ව්‍යුහාත්මක වෙනසක් දක්වා විතැන් වූ බව දක්වන වොලන්ස්ටයින් පරිවාරයේ රටවල් වෙත මෙම දැනුමේ නිමේෂය එළඹීම (knowledge moment) එක් අතකින් නැවත පරායත්ත තත්ත්වයක් ලෙස දක්වන අතර අනෙක් අතට පරක්කු මොහොතකි.
ඉදිරිගාමී නොවන සරසවි
අප වැනි රටවල ඇති නුපුහුණු සහ ලාබශ්‍රමය කේන්ද්‍රය වෙත යාම මෙම සංක්‍රමණිය අවධියේ ලක්ෂණයක් ලෙස හඳුනා ගන්නා වොලන්ස්ටයින් කේන්ද්‍රයේ වැදගත්ම ලක්ෂණය ලෙස හඳුනා ගන්නේ දියුණු බුර්ෂුවා පන්තියක් සිටීම, කේන්ද්‍රගත පාලනයක් තිබීම, ශක්තිමත් වැඩකරන පංතියක් පැවතීම, විශේෂ ප්‍රාගුණ්‍යය, වෙළෙඳපොළ සහ මුල්‍ය අධිපතිත්වය යන කරුණුය. නමුත් පරිවාරයේ ඇත්තේ ඉතාම නොදියුණු පාලක පන්තියක් වන අතර ආර්ථික විවිධාංගිකරණයක් දකින්නට නැත. මීටත් අමතරව තුන්වැනි ලෝකය පුරාම ඇත්තේ ඉතාම දුර්වල ආයතන ව්‍යුහයකි. එක්කෝ එම ආයතන පහළට වැටෙමින් පවතින අතර නැත්නම් දුකහිතෙන අයුරින් දුර්වල වෙමින් ඇති බව ඉහත න්‍යාය විසින් පෙන්වා දෙයි. වෙනත් වචනයකින් කිවහොත් එකතැන පල්වෙමින් ඇත (stagnation). ලංකාව තුළ දුම්රිය, පළාත් පාලන සහ විශ්වවිද්‍යාල මේ සඳහා උදාහරණ වේ.
විශේෂයෙන් විශ්වද්‍යාල තුළ යටත් විජිත කලා සහ සමාජ විද්‍යා අංශ විශාල වශයෙන් කඩා වැටෙමින් ඇත. ඒවායේ දැන් පවතින අර්බුද සඳහා පෙනෙන තෙක් මානයක් විසදුමක් නැත. විසඳුමක් යෝජනා කල හැකි වන්නේද නැත. මන්ද ප්‍රශ්නය තේරුම් ගැනීමට වත් මේ වනවිට කිසිවෙක් මහන්සි නොවන බැවිනි. හැමෝම ඉල්ලා සිටින්නේ තම අයිතීන් සහ වරප්‍රසාධ ලබා දෙන ලෙසයි. නමුත් පවතින අධ්‍යාපනය සහ නිෂ්පාදනය අතර කිසිදු සම්බන්ධයක් නැත. කලා උපාධිධාරී විරැකියාව ඉතා ඉහළ ය. ඉතාම ආන්තික ලෙස ක්‍රියාත්මක වන පුද්ගලික අංශයක් විසින් උරාගන්නවා හැර සහ රජයේ රැකියා සඳහා ඉල්ලුම් කරමින් ගෙවල්වල ඉන්නවා මිස මේ දෙක අතර කිසිදු තාර්කික සම්බන්ධයක් මේ වනවිට නැත. සියල්ලෝම බලාපොරොත්තු වන්නේ සහනාධාර වැඩපිළිවෙළකි. රටේ සිටින දුප්පත්ම කොටස් හට දිරි දීම කළ යුතු වුවත් එය කළ යුත්තේ අරමුණක් ඇතිවය.
එමෙන්ම පවත්නා ගෝලීය යථාර්තය ගැන වේගයෙන් ජනතාව දැනුවත් කළ යුතුය. විශාල සන්නිවේදන ප්‍රශ්නයක් රටේ සංවර්ධනය සහ ජනතා සහභාගිත්වය අතර ඇත. උදාහරණ හැටියට ත්‍රී රෝද රථ එළවන තරුණයන් යනු විශාල ශ්‍රම නාස්තියකි. අවම මට්ටමෙන් ඔවුන් තාක්ෂණ විද්‍යාල වෙත යොමුකර විදේශ ශ්‍රම වළෙඳපොළට යවන්නේනම් කොතරම් විනිමයක් උත්පාදනය කළ හැකි වේද? එම තරුණයින්ටත් අවශ්‍ය එකතැන පල්වෙවී තම ගෙදර අවටම රස්තියාදු ගසමින් ගංජා බොමින් චේ ගේ සහ පයිරේට් ඔෆ් කැරිබියන් ස්ටිකර අලවා ගත් තම ත්‍රී රෝද රථවලින් මෙහා ගමේ සිට එහා ගමටත් එහා ගමේ සිට මෙහා ගමටත් ඔහේ ගමන් කිරීමටය. වෙළෙඳ දැන්වීම් සහ ටෙලි නාට්‍ය විසින් උත්කර්ෂ කරන්නේ ද මෙම ත්‍රී රෝද සංස්කෘතියයි. එවන් ශ්‍රම අපතේ යාමක් ජාතික ලෙස උත්කර්ෂ නොකිරීමට අප මාධ්‍යය ලෙස කටයුතු කළ යුතුය. ඔවුන්ගේ ආකල්ප රැඩිකල්කරණය කළ යුතුව ඇත. නොදන්නා පිටරටකට යෑමට ඇති බිය නැති කළ යුතුය.
ගිවිසුම් ගතවීමේ වටිනාකම
පීටර් බවර් කියන පරිදි පිටරටින් එන ආධාර මෙම දුප්පත් ජනකොටස් අතර බෙදා දුන්නාට පසු ඉතුරුවෙන කිසිවක් නැත. සමහර විට එම ආධාර පවා මගදීම අතුරුදන් වෙන අතර පහළ ජනකොටස් වෙත යන්නේද නැත. එසේ ගියා වුව ද එය ප්‍රශ්නයට විසඳුමක් ද නොවන්නේය. ඉහත පුර්විකාව ලිවීමට හේතු වුවේ අප ගතකරමින් සිටින අර්බුදය තේරුම් ගැනීම අධ්‍යතන දේශපාලන උපනතීන් සඳහා ද බලපැවැත්වෙන නිසාය. ලිබරල් දේශපාලනය සහ වම අතර ඇති ඝට්ටනය මෙන්ම නො-අවබෝධය විසින් විශාල හානියක් අප රටට සිදුවෙන බව මගේ හැඟීමයි. ලිබරල් දේශපාලනය සඳහා ශක්තිමත් බුර්ෂුවා පංතියක් අවශ්‍ය වනවා සේම වමේ (ජනතාවාදී) දේශපාලනය සුබසාධක අරමුණු මත පදනම් වී තිබීම මෙයට හේතුවයි. මෙය පරස්පරතාවයකි. එමනිසා මෙම මොහොතේ මෙම පාර්ශව දෙක අතර යම් ගිවිසුම් ගතවීමක් අවශ්‍යය. එසේ නොවුනහොත් පවත්නා කේවල් කිරීම තුළ මෙම රටට අනාගතයක් නැත. මන්ද අප ඉදිරියේ ඇත්තේ විශාල ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය මොහොතකි.
යල්පැන ගිය සංකල්ප
පීටර් බවර් යනු තුන්වැනි ලෝකය සම්බන්ධ වැදගත් සංවර්ධන ආර්ථික විද්‍යාඥයෙකි (development economist). ඔහුගේ මතය නම් පෙරදිග තුන්වන ලෝකය විසින් පැරණි යුරෝපිය යටත් විජිත ස්වාමියාගේ වරදකාරී මානසිකත්වය කොල්ල කමින් සිටින බැවින් තුන්වන ලෝකයට පරායත්ත වීමට සිදුව ඇති බවයි. එසේ රැගෙන එන ප්‍රාග්ධනය මෙරට දුෂිත පාලයින් කොල්ල කන බවත් එම නිසාම දුප්පත්කම නිමක් නැති වන බවත් ඔහු පෙන්වා දෙයි. ව්‍යවසායකයන් හට රාජ්‍යය ආයතන කෙරෙහි විශ්වාසය නැති හෙයින් ආයෝජනය නොකරන බවත්, රාජ්‍යය විසින් ජනතාව අන්දන සෝබන වැඩපිළිවෙළක සිටින බැවිනුත් මීට අමතර දුෂණයත් නිසා මෙම රටවල් වළ පල්ලට යමින් සිටින බවත් බවර් හඳුනා ගනී. මිනිසුන්ට පුද්ගලික තේරීම් (individual choices) සදහා අනුබල දිය යුතු බවත් රජය විසින් එවන් අය ආරක්ෂා කළ යුතු බවත් (බලන්න ජනප්‍රිය ඇමෙරිකානු චිත්‍රපටයක් වන There will be Blood (2007) හි ඩැනියෙල් තම ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් කරන අරගලය) ඔහු කියා සිටී. තුන්වැනි ලෝකයේ පසුගාමී බව විවේචනය කරන ඔහු තමාව හඳුන්වා ගන්නේ ලිබටේරියානුවෙකු (libertarian) ලෙසය. රජයට ලැබෙන ආධාර වඩා වඩාත් දුෂණය දෙසට හැරෙන බව කියාසිටින ඔහු විශාල රාජ්‍ය ආයෝජන ප්‍රතික්ෂේප කරයි. යහපාලනය නම් සංකල්පය පැහැදිලිව ප්‍රතික්ෂේප කරන බවර් කියන්නේ එය යල් පැනගිය සංකල්පයක් බවයි. අපගේ ඉතාම සරල ලෝක දෘෂ්ටිය යවක්කාලින විය යුතු බව ඔහුගේ මතයයි. ඔහු කියන්නේ ආරක්ෂණවාදය තුළින් දුප්පත්කම වැඩිවෙනවා මිස නැති නොවන බවයි.
රනිල්ගේ ජයග්‍රහණය ජාතික ජයග්‍රහණයක් ලෙස...
පීටර් බවර් ට අනුව තුන්වැනි ලෝකයේ රටවල් යනු අප දන්නා කිසිදු ආර්ථික හෝ දේශපාලන නිර්ණායකයක් මගින් තීරණය කළ නොහැකි කලාපයක් ලෙස නම් කරයි. කිසිදු න්‍යායකට හසුනොවන අපගේ ලෝකය තුළ සිදුවෙන දේ නම් අපූරු ය. මෙම නො-න්‍යායික අපුරු බවේ අගනා ප්‍රකාශනයක් වුවේ පෙරේදා විශ්වාස භංගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජය ගැනීමයි.
කිසිදු න්‍යායකට හසුනොවන ලෙස අවසානයේ රනිල් ජය ගත්තේය. මොන මාක්ස්වාදියා මොනවා හිතුවත් මේ නිශ්චිත මොහොතේ මා පුද්ගලිකව ප්‍රර්ථනා කළේ ද එය ම ය. නමුත් මෙම ජයග්‍රහණයේ අර්ථය කුමක්ද මෙතනින් පසු කළ යුත්තේ කුමක්ද යන්න අපි සැවොම තීරණය කළ යුතුව ඇත. මන්ද කෙතරම් උඩ පැන්නත් අවසානයේ කිසිදු නිශ්චිත ජාතික අරමුණක් කරා ඉහත ජයග්‍රහණය ගමන් නොකළොත් එය පරාජයක් වීමටත් ඉඩ ඇත. එසේනම් රනිල්ගේ ජයග්‍රහණය ජාතියේ ජයග්‍රහණයක් කරගන්නේ කෙසේද? බවර් ගේ ඉහත නිරීක්ෂණයෙවල වැදගත්කම පිළිගන්නා නමුත් ලිබටෙරියානුවෙකු නොවන මම ඔහුගේ ජයග්‍රහණය දකින්නේ කෙසේද?
ඉවර නොවූ රනිල්
අප දන්නා න්‍යාය ට අනුව ගතහොත් මේ වනවිට රනිල් නොපැවතිය යුතු ය. පසුගිය පළාත් පාලන මැතිවරණය වනවිට මා ද ඇතුළුව බොහෝ දෙනෙක් සිතා සිටියේ රනිල් ඉවරයි කියා ය. ඇතැම් විට රනිල් පවා එසේ සිතන්නට ඇත. ඇත්තටම රනිල් සිටියේ මියගොස් ය. පාක්ෂිකයන් සිතා සිටියේ ද එසේය. නමුත් මෙම නව තත්ත්වය තුළ ඔහු ප්‍රතිජිවනය වී ඇත. ගම්මන්පිලට කැබිනට් අමාත්‍ය ධුරයක් දිය යුතු යැයි රනිල් කියන්නේ ඔහුවත් සිතා නොසිටි මෙම ආපතික තත්ත්වය නිසාය. එනම් මළමිනිය පස් ගසා බසා දමා වළෙන් නැගිට කිවිසුම් ඇරීම අරඹා ඇත (dead man walking). ආපතික තත්ත්වය යනු එබඳු දෙයකි.
අවස්ථාවාදි නොවන්න
මෙම අවස්ථාවේ රනිල් එරෙහිව විශ්වාස භංගයක් නොගෙනෙන ලෙස පොහොට්ටුවේ න්‍යායික පාර්ශවය විසින් විමල් වීරවංසලාට කිවේ ඇයිදැයි දැන් අපට සිතාගත හැකිය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බිංදුවට වැටී තිබු එ. ජා. ප. පාක්ෂිකයින්ගේ මොරාල් එක මෙම විශ්වාසභංග ජයග්‍රහණයෙන් නප්පියට ඉස්මතු වී ඇත. දැන් ඔවුන් කියන්නේ ‘රනිල් අද අගමැති හෙට ජනපති’ යනුවෙනි. පවත්නා බලවේග හොඳින් කළමණාකරණය කරගත හොත් එය ද අමාරු දෙයක් නොවේ. අනෙක් අතට ද්‍රවිඩ ජාතික සංධානයට රනිල් හරහා මෙම අවස්ථාවේ හොඳ කේවල් කිරීමකට ගොස් යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් තම පීඩිත ජාතියට දිනාදිය හැකිය. එය ඉතාමත් හොඳ තත්ත්වයකි. එයට එ. ජා. ප. පාක්ෂිකයින් මේ මොහොතේ අකමැති නොවනු ඇත. තමා සමග එකට හිටගන්නා ජාතියකට මොනවා දුන්නම මොකද යනු ඔවුන්ගේ මතයයි. එම තීරණය දෙමළ ජාතික සන්ධානය විසින් ගන්නා ලද ඉහළ සාර්වත්‍රික තීරණයකි. වැඩේ අරගෙන පස්සේ පයින් ගැසීම වැනි තුට්ටු දෙකේ වැඩ මේ මොහොතේ එ. ජා. ප. ය විසින් දෙමළ සහ මුස්ලිම් මිනිසුන්ට නොකළ යුතුය. ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොටස් ද මෙම වැඩ පිළිවෙළට එකතු කරගත යුතුය. එම සම්මුතිය තුළ ජාතිවාදයට අවසන් ඇණයත් ගැසිය යුතුය. රනිල් ගේ ජයග්‍රහණය මා පැතුවේ එම අර්ථයෙනි. එපමණකි. එතැනදී මට බැඳුම්කර ගැටලුව සහ හොරු ඇල්ලීමේ ප්‍රශ්නය ද්විතීයික විය.
කෙටි වාක්‍යයකින් කිවහොත් නැවත වරක් ලාංකික භුමිය තුළ ජාතිවාදය පරාජය වී ඇත. ඒ සඳහා මොන බුර්ෂුවා පාලකයා පැමිණියද මට කමක් නැත. ඒ අන් කිසිවක් නිසා නොව මොනවා වුවද, කුමන සංවර්ධන මාදිලියකට යාමට වුවද අප ජාතිකත්ව ප්‍රශ්නය විසඳා ගත යුතු නිසාය.
කෙටි වාක්‍යයකින් කිවහොත් නැවත වරක් ලාංකික භුමිය තුළ ජාතිවාදය පරාජය වී ඇත. ඒ සඳහා මොන බුර්ෂුවා පාලකයා පැමිණියද මට කමක් නැත. ඒ අන් කිසිවක් නිසා නොව මොනවා වුවද, කුමන සංවර්ධන මාදිලියකට යාමට වුවද අප ජාතිකත්ව ප්‍රශ්නය විසඳා ගත යුතු නිසාය.
රැවුල්කරුවෝ ද ජාතිවාදියෝ ය
විප්ලවීය යැයි කියනු ලබන රැවුල්කරුවන් ජාතිවාදී මඩ ගොහොරුවේ දශක ගණනාවක් කරවටක් එරෙද්දී බුර්ෂ්වා පාලකයෙක් ලෙස රනිල් අවම මට්ටමින් ජාතිවාදයට විවෘතව ම විරුද්ධය (නිකම් බැලුවත් මෙවර ද ජ. වී. පෙ. හිටගත්තේ වැරදි පැත්තේය. ඔවුන් එයට කියන්නේ ‘ජනතාවගේ පැත්ත’ කියාය. නමුත් මාක්ස්වාදියෙකු සිටිය යුත්තේ ජනතාව සමග නොව ජනතාවට ඉදිරියෙන් ය. එතැනදී ඡන්දය නොදුන් ශ්‍රී ලංකා මන්ත්‍රීවරු ඉන්නේ ඇතැම් විට ජවිපෙට ඉදිරියෙන් විය හැකි ය). ජනතාවට මග පෙන්වමින් ජනතාවට ඉදිරියෙන් යම් පාලකයෙක් යන්නේ ද නායකයෙක් වීමට එය පමණක් ම වුව ප්‍රමාණවත්ය.
අප රනිල්ගේ ලිබරල් ව්‍යාපෘතිය සමග එකට හිටගත යුතු නැත. නමුත් අපටත් ආර්ථික විකල්පයක් මේ මොහොතේ නැති බව අප තේරුම් ගත යුතුය. මාක්ස්වාදියෙක් ලෙස රනිල්ට කඩේ යනවා වෙනුවට රනිල්ටත් මග කියමින් සමාජ ප්‍රගමනයේදී රනිල්ටත් වඩා ඉදිරියෙන් ගමන් කිරීමට අපට හැකිනම් එය ප්‍රගතිශීලි වමේ නුතන උරුමය ලෙස සිතමි (to become more Ranil than Ranil). අප ලාංකික සමාජය ඉදිරියට ගෙන යා යුතුව ඇත. සමාජ පසුගාමී බවට (societal backwardness) අභියෝග කළ යුතුව ඇත. නිකම් කකා සිටීම යනු කාලකණ්නිකමකි. කළු අප්‍රිකානුවකු ලෙස ඉපිද අමෙරිකාව තුළ විගලිත කළු ජාතිකයින් හට සුද්දන්ටත් වඩා සුද්දෙකු ලෙස ජීවත් වීමට ඉගැන්වුවේ මැල්කම් එක්ස් ය. ඔහු සිතුවේ කළු ජාතිකයින්ගේ ඇමෙරිකානු ප්‍රගමනය ගැන ය. අප්‍රිකානු සාරය සොයා නැවත මවු බිම වෙත ආපසු යාම හෝ එකතැන පල්වීම ගැන නොවේය. මැල්කම් එක්ස් ගේ මව්බිම වුවේ ඔහුගේ නව භුමිය වූ ඇමෙරිකාවයි. ස්වාමියාටත් වඩා ස්වාමියෙකු වීම යනු ජිජැක් හරහා මා උගත් ලොකුම හේගලියානු පාඩමයි.
Mahesh Hapugoda
උපුටා ගැනීම SIS. lk
No comments:
Post a Comment